ජොන් කෙරීට ට‍්‍රම්ප් දොස් කියයි



හිටපු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, ඉරාන විදේශ ඇමැති මොහොද් ජවාද් සරීෆ් සමඟ නීතිවිරෝධී ආකාරයට සාකච්ඡුා පවත්වා ඇතැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දොස් කියයි.

ජෝන් කෙරී ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ධුරය හෙබවූයේ ට‍්‍රම්ප්ට පෙර, බැරැක් ඔබාමා ජනාධිපති ධුරයේ කටයුතු කළ අවස්ථාවේදීය. ඇමෙරිකාව ලෝක බලවතුන් වන රුසියාව, චීනය, බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය සහ ජර්මනිය හවුල් කර ගනිමින් 2015 දී, ඉරානය සමඟ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් පොදු එකඟතාවක් ඇති කර ගත්තේය.

එම එකඟතාව ඇති කර ගැනීම සිදුවූයේ එවකට රාජ්‍ය ලේකම් වුණු ජෝන් කෙරීගේ මැදිහත් වීමෙනි. කෙරී, විදේශ සංචාර අතරතුරේ අවස්ථා කිහිපයකදී ඉරාන විදේශ ඇමැති මොහොද් ජවාද් සරීෆ් හමුවිය. ට‍්‍රම්ප් චෝදනා කර ඇත්තේ එම හමුවීම් නීතිවිරෝධී ආකාරයට සිදුවුණු බවය.

2015 දී ඔබාමා පරිපාලනය මැදිහත් වී, ලෝක බලවතුන් සමඟ එක් වී, ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් ඇතිකරගත් එම න්‍යෂ්ටික එකඟතාව දෝෂ සහිත බව ට‍්‍රම්ප් පෙන්වා දී ඇත. එම එකඟතාවයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට ට‍්‍රම්ප් කටයුතු කර ඇති අතර, ඉරානයට නව සම්බාධක පැනැවීමක් ද සිදු කර තිබේ.

(රොයිටර්ස්)


RECOMMEND POSTS