සෞදි ආර්ථික සමුළුවට යනවා



සෞදි මාධ්‍යවේදියකු මෙන්ම ඇමෙරිකන් පුරවැසියකු ද වන ජමාල් කශෝගී ඝාතන කළේ යැයි සෞදියට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් තමන් දැඩි ලෙස කම්පනයට පත්ව සිටින නමුත්, ලබන සතියේ සෞදියේ පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සමුළුවට තමන් සහභාගී වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප‍්‍රධානී කි‍්‍රස්ටීනා ලගාද් මාධ්‍ය හමුවේ පවසා ඇත.

‘මානව හිමිකම් උල්ලංගනය වීමක්, මාධ්‍ය නිදහස අහිමි වීමක් සිදුවී තිබෙන බව පැහැදිලියි. ඔප්පු කිරීමට නොහැකි වුවත්, බරපතල චෝදනා සෞදියට එල්ල වෙනවා. ඒවා ඇසීමෙන් මා කම්පනයට පත්වුණා. ඒත් මගේ පෞද්ගලික තීරණය අනුව කටයුතු කරන්න මට බැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කටයුතුවලට මම සහභාගී විය යුතුයි.’ යැයි ප‍්‍රධානී කි‍්‍රස්ටීනා ලගාද් මාධ්‍ය හමුවේ පැහැදිලි කර තිබේ.

තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී ජමාල් කශෝගී අතුරුදන් වූයේ පසුගිය 2 වැනිදාය. සෞදියේ සල්මාන් රජුගේ උපදෙස් පරිදි කොන්සල් කාර්යාලයේ දී කශෝගී ඝාතනය වුණැයි තුර්කි රජය පැහැදිලි කර තිබේ. ඒ, සිදුකළ පරීක්ෂණවලදී ඔවුන්ට ලැබුණු ප‍්‍රබල සාක්ෂි ඉදිරිපත් කරමිණි.

කශෝගී ඝාතන සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 15 දෙනකු අත්අඩංගුවට ගැනීමට තුර්කි ආරක්ෂක අංශ පියවර ගෙන ඇතැයි ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පත කියයි. කශෝගී මෙම පුවත් සේවයට සම්බන්ධ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කර තිබේ.

එසේ අත්අඩංගුවට ගත් 15 දෙනාගෙන් හතර දෙනකු ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් බව ද හඳුනාගෙන ඇත. කෙසේ නමුත් කාශෝගී ඝාතනය සම්බන්ධයෙන් තමන්ට එල්ල වන චෝදනා සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS