කටාරය වෙන් කරන්න සෞදිය සූදානම්



දැවැන්ත ඇළ මාර්ගයක් ඉදිකර, අසල්වැසි කටාර් රාජ්‍යය වෙන් කිරීමට තමන් සූදානම් බවත්, එම ඇළ ඉදි කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන බවත් සෞදිය කියයි.

කටාරය ගොඩබිමින් සම්බන්ධ වී ඇත්තේ සෞදියට පමණි. මෙම ඇළ මාර්ගය ඉදි කිරීමෙන් පසු, කටාරය ඇතුළත් කටාර් අර්ධද්වීපය දූපතක් බවට පරිවර්තනය වෙයි.

‘සල්වා දූපත් ව්‍යාපෘතිය ඉදිරි දින කිහිපයේදී ක්‍රියාත්මක කිරීමට සූදානම් වෙනවා. මෙය කලාපීය වශයෙන් පමණක් නොව, භූගෝලීය වශයෙන් ඓතිහාසික සිදුවීමක්.’ යැයි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් පැහැදීමට පත් සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරු පවසා ඇත. ඒ, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිණි.

සෞදිය සහ කටාර් රාජ්‍යය අතර ඇයි හොඳයිකම් පළුදු වී ඇත. ඒ මාස 14 ක කාලයක් තිස්සේය. ඊට හේතුව වූයේ කටාර් රාජ්‍යයේ විදෙස් ප්‍රතිපත්තිය. කටාරය ත්‍රස්තවාදීන්ට අනුග්‍රහය දක්වන බවටත්, අන්තවාදයට උඩගෙඩි දෙන බවටත් සෞදිය චෝදනා කරයි.

සෞදිය මෙම චෝදනා මුල්කොට ගනිමින්, කටාර් රාජ්‍යයට සම්බාධක පැනැවීමක් ද කළේය. සෞදිය හරහා කටාර් රාජ්‍යයට පිවිසීම තහනම් කෙරුණි.

සෞදියට සයාය දක්වමින්, කටාර් රාජ්‍යයට එරෙහිව ඇයි හොඳයිකම් නැවැත්වීමට ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය ද කටයුතු කර ඇත. මෙම රටවල් එක් වී, කටාර් රාජ්‍යයට පනවා ඇති ආර්ථික සම්බාධක හේතුවෙන් කටාර් රාජ්‍යය දැඩි අසීරුතා රැසකට මුහුණ දී සිටී.

(රොයිටර්)

 


RECOMMEND POSTS