පරාජය බාරගනී



වසර නවයකට පසු ලෙබනනයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන්, ලෙබනන් අගමැති සාද් අල් හරීරි සහ ඔහුගේ පාලක පක්ෂයට ප්‍රබල පරාජයක් හිමිවුණු අතර, ජයග්‍රහණය හිමිකර ගත්තේ ඇමෙරිකාව විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස හංවඩු ගසනු ලැබූ හිස්බුල්ලා සංවිධානයට හිතවාදී දේශපාලන කණ්ඩායම්ය.

ලෙබනන් පාර්ලිමේන්තුවේ ආසන 128 කි. අගමැති සාද් අල් හරීරි සහ ඔහුගේ ‘අනාගත පෙරමුණ’ පක්ෂයට දිනා ගැනීමට හැකිවූයේ ආසන 21 ක් පමණි. පරාජය නිහතමානීව බාර ගන්නා බව අගමැතිවරයා එරට ජාතික රූපවාහිනියෙන් ජාතිය අමතමින් කියා සිටියේය.

ඉරානයට හිතවත් හිස්බුල්ලා සංවිධානය දේශපාලනික අංශය සහ සන්නද්ධ අංශය යනුවෙන් කොටස් දෙකකි. ලෙබනන් පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කර ඇත්තේ දේශපාලන අංශයට සම්බන්ධ දේශපාලන කණ්ඩායම්ය.

ලෙබනනයේ ආරක්ෂාව සහතික කිරීමට ජනවරමක් හිමිවී ඇති බව ලැබූ ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිස්බුල්ලා සංවිධානයේ මහ ලේකම් සයේද් හසාන් නසරල්ලා පවසා ඇත.

පරාජයට පත් වුණු අගමැති හරීරි සහ ඔහුගේ පක්ෂය හිස්බුල්ලා විරෝධීය. 2009 වසරේ පැවැති ලෙබනන් මහ මැතිවරණයෙන් හරීරි සහ ඔහුගේ පක්ෂය විශිෂ්ට ජනවරමක් හිමි කර ගෙන තිබුණු බව ලෙබනන් පුවත් සේවා සිහිපත් කරයි. 2009 වසරේ දී හරීරි සහ ඔහුගේ පක්ෂය බලයට පත් වූයේ සෞදියේ ද සහාය ඇතිවය.

2009 වසරේ හරීරිගේ රජය බලයට පත් වූයේ සිවුවසරක කාලයක් සඳහාය. කෙසේ නමුත් නව මැතිවරණ නීති සකස් කළ යුතු හෙයින් සහ සිරියානු අර්බුදය මුල්කොට ගනිමින් මැතිවරණය දිනෙන් දින ප්‍රමාද විය. සිරියාව යනු ලෙබනනයේ අසල්වැසියාය.

(රොයිටර්)

 


RECOMMEND POSTS