රජයක් පිහිටුවන්න කල් යනවා



නව රජයක් පිහිටුවීමට තමන් සූදානම් බවත්,  මැතිවරණයෙන් ජයග්‍රහණය කළ සෙසු පක්ෂ සමඟ තමන් සාකච්ඡා පවත්වන  බවත් පසුගිය දා ඉරාක මැතිවරණයෙන් වැඩි ඡන්ද ප්‍රමාණයක් දිනාගත් ෂියා මුස්ලිම් ආගමික නායක මුක්ටාඩා අල් සදාර් කියයි.

පසුගිය මැයි 12 වැනිදා පැවැත්වුණු මහ මැතිවරණයෙන් මුක්ටාඩාට හෝ වෙනත් කිසිදු පක්ෂයකට හෝ තනිව රජයක් පිහිටුවීමට අවශ්‍ය ඡන්ද ප්‍රමාණයක් දිනා ගැනීමට නොහැකි විය.

කෙසේ නමුත්, ඉදිරියෙන් සිටින ෂියා මුස්ලිම් ආගමික නායක අල් සදාර් පවසා ඇත්තේ ඔහුට පක්ෂපාතී පිරිස් එක් කර ගනිමින් හවුල් රජයක් පිහිටුවන බවය. මැතිවරණයෙන් ඉදිරියෙන් සිටින්නේ ෂියා මුස්ලිම් දේශාපලන කණ්ඩායම්ය.

ඉරාක අගමැති ලෙස කටයුතු කරන හයිදාර් අල් අබාදි ද මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ නමුත් ඔහුට හෝ ඔහුට හිතවාදී පක්ෂවලට හෝ ජයග්‍රහණය කිරීට නොහැකි විය.

ඉරාක පාර්ලිමේන්තුවේ ආසන 329 කි. බටහිර හිතවාදියකු මෙන්ම බටහිර අනුග්‍රහය හිමිවන අගමැති අල් අබාදි සහ ඔහුට හිතවාදී දේශපාලන කණ්ඩායම්වලට දිනා ගැනීමට හැකි වූයේ ආසන 42 ක් පමණි. මුක්ටාඩා අල් සදාර්ගේ පක්ෂයට ආසන 54 ක් දිනා ගැනීමට හැකිවිය.

පසුගිය දා මුක්ටාඩා අල් සදාර් සහ ඉරාක අගමැති අබාදි අතරේ හමුවක් බැග්ඩෑඞ් අගනුවරදී පැවැත්විණි. කවුරුත් කැමැති වන අයුරින්, එකඟතාවකට පැමිණ නව රජයක් පිහිටුවීමට සති ගණනක් හෝ මාස ගණනක් හෝ ගතවනු ඇති බව එම අවස්ථාවේදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මුක්ටාඩා අල් සදාර් කියා සිටියේය.

2003 වසරේ දී ඇමෙරිකා සහ බ්‍රිතාන්‍ය හමුදා ඉරාකය ආක්‍රමණය කළ අවස්ථාවේදී, එම හමුදාවලට එරෙහිව දටන් මෙහෙයවූයේ ද මුක්ටාඩා අල් සදාර් සහ ඔහුගේ සන්නද්ධ කල්ලි සාමාජිකයන් බව පැවැසෙයි.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS