චෝදනා ප්‍රතික්ෂේප කරයි



මැදපෙරදිග කලාපය අස්ථාවර කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ඉරානය පවසයි.

ඉරානය මැද පෙරදිග කලාපය අස්ථාවර කරන බවට සෞදි අරාබිය සහ ඊශ්‍රායලය ‘මියුනික් ආරක්ෂක සමුළුවේදී’ ඉරානයට චෝදනා කළේය.

තම උපායමාර්ග වැරැදී යෑමත් වැරැදි තේරීම් නිසාත් දැන් ඇමෙරිකා එක්සත් ජනපදයේ මිතුරන් වන සෞදි අරාබිය සහ ඊශ්‍රායලය තමන්ට චෝදනා කරන්නේ යැයි ඉරාන විදේශ අමාත්‍ය මොහොමද් ජවාද් සරීෆ් ‘මියුනික් ආරක්ෂක සමුළුවේදී’ චෝදනාවලට පිළිතුරු දෙමින් කීය.

ඉරිදා (18) පැවැති ‘මියුනිච් ආරක්ෂක සමුළුවේදී’ සෞදි විදේශ අමාත්‍ය අදෙල් අල් ජුබයිර් සහ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඉරානයට චෝදනා කිරීමත් සමඟ මෙම මතභේදාත්මත තත්ත්වය ඇති විය.

‘ඉරාන රෙජීමයේ මූලධාර්මික වෙනස් විය යුතුයි’ එහිදි සෞදි විදේශ අමාත්‍යවරයා පැවසීය. එහිදි සෞදි විදේශ අමාත්‍යවරයා සමඟ එක්වූ ඊශ්‍රායල විදේශ අමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ඉරානය ලෝකයට තිබෙන විශාලතම තර්ජනය යැයි ද මැදපෙරදිග කලාපයේ අර්බුද ඇති කරමින් කලාපයේ අධිරාජ්‍යයා වීමට ඉරානය කටයුතු කරන්නේ යැයි ද චෝදනා කළේය.

ඉන් අනතුරුව නැගී සිටි ඉරාන විදේශ අමාත්‍යවරයා එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළේය.

“ඇමෙරිකාව සහ කලාපයේ ඔවුන්ගේ මිතුරන්, ඔවුන්ගේ වැරැදි තේරීම්වල ප්‍රතිවිපාක විඳිමින් සිටිනවා. ඔවුන් දැන් ඔවුන්ගේ වැරැදි වසා ගැනීමට ඉරානයේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරනවා” ඉරාන විදේශ අමාත්‍යවරයා කීය.
1980 දශකයේදී ඉරාක නායක සදාම් හුසේන්ට සහාය දැක්වීම, 2003 වසරේදී සදාම් හුසේන් බලයෙන් ඉවත් කිරීම සඳහා ඉරාකය ආක්‍රමණය කිරීම, ඊශ්‍රායලය බලහත්කාරයෙන් පලස්තීනය අල්ලා ගැනීම සහ සෞදිය යේමනයට එල්ල කරන බෝම්බ ප්‍රහාර එම වැරැදිවලින් කිහිපයක් යැයි ද ඉරාන විදේශ අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

හර්ෂණ තුෂාර සිල්වා

අල්ජසීරා


RECOMMEND POSTS