කර්කක් නුවර ඉරාක හමුදාවට



ඉරාකයේ කර්කක් නුවර, ප්‍රධාන ගොඩනැගිලි සහ ආයතන සියල්ල ඉරාක රජයේ හමුදා විසින් අත්පත් කර ගනු ලැබ ඇත.

ඒ සමඟම තෙල් සංචිතවලින් පිරි කර්කක් නගරයේ රැඳී සිටි කුර්දි සටන්කාමීන් සෙමින් පසුබැස ගිය බවත්, නගරයේ සිටි වැසියන් සිය ගණනක් නගරයෙන් පිටවී ගිය බවත් විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

ඉරාක හමුදා මෙසේ කර්කක් නගරයේ බලය මුළුමනින්ම සිය අතට ගත්තේ, කුර්දිස්තානයේ පැවැති ජනමත විමසුමෙන් සති තුනක් ගත වෙද්දීය. කුර්දිස්තානය ඉරාකයට අයත් වෙනම ප්‍රාන්තයකි.

කුර්දි වැසියන් ඉරාක රජයේ විරෝධය මැද ජනමත විමසුමක් පැවැත්වූයේ කුර්දිස්තානය ඉරාකයෙන් වෙන් වී වෙනම රාජ්‍යයක් බවට පත් කර ගැනීමටය.

ඉරාක රජය ඊට දැඩි විරෝධය දක්වා ඇති අතර, ඔවුන් දැන් කුර්දි සටන්කාමීන්ගේ බාරයේ ඇති ඉරාකයේ සෙසු නගර තමන් අතට ගනිමින් සිටී. ඉරාකයේ අයි.එස්. ත්‍රස්තයන්ට එරෙහි සටනේ දී, ඉරාක හමුදාවට ලොකු සහායක් ලබා දෙන්නේ මෙම කුර්දි සටන්කාමීන්ය.

කර්කක් යනු කුර්දි සටන්කාමීන් විසින් ආරක්ෂාව ලබා දෙමින් තිබුණු නගරයකි. තවත් එවැනි නගර කීපයක් ඇති අතර, ඉරාක රජයේ හමුදාවෝ ඒවා ද ඔවුන්ගේ බාරයට ගැනීමට සූදානමින් පසුවෙති.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS