ලංකාවේ තේවලට මම හරි ආසයි



තමන් කවදත් ශ‍්‍රී ලංකාවේ තේවලට ඉතා කැමැත්තක් දක්වන බව ඉරාන ආධ්‍යාත්මික නායකය අයතුල්ලා අලි කුමේනි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවේ පවසා ඇත.

දෙරටේම ජනතාවගේ සිතුම් පැතුම්වල සමානතා පවතින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සමග පැවති සුහද කතාබහේදී තමාට අවබෝධ වූ බව ද ඉරාන අධ්‍යාත්මික නායකයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඒ අනුව දෙරටේ සබඳතා ශක්තිමත් කර ගනිමින් සහෝදර රාජ්‍යයන් ලෙස ඉදිරියට යාමේ හැකියාව පෙන්වා දුන් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඊයේ දින දෙරට අතර අත්සන් තැබුණු නව අවබෝධතා ගිවිසුම් සකි‍්‍රයව ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා අධ්‍යාත්මික නායකයෙකු වශයෙන් එතුමා ඉටුකරන මෙහෙය ඇගයීමට ලක් කළේය. 

බෞද්ධ දර්ශනය මත පදනම් වූ සමාජයක් ශ‍්‍රී ලංකාවේ පවතින බවත්, ආගමික දර්ශනයන් තුළින් සමාජය සුවපත් කළ හැකි බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඉරානයේ තාක්ෂණික දියුණුව ද මෙහිදී ඇගයීමට ලක් කළ ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකාවේ ඉදිරි සංවර්ධනය සඳහා එම අත්දැකීම් හිමිවනු ඇති බවට ද විශ්වාසය පළ කළේය.

ඉරානයේ රාජ්‍ය සංචාරයක් සඳහා තමා වෙත ආරාධනා කිරීම සහ එහිදී දැක්වූ හෘදයාංගම පිළිගැනීම සහ ආගන්තුක සත්කාර පිළිබඳ ජනාධිපතිතුමා මෙහිදී ඉරාන අධ්‍යාත්මික නායකයා වෙත සිය ස්තූතිය පිරිනැමීය.

( තිළිණි ද සිල්වා )


RECOMMEND POSTS