දඬුවම් විඳින්න වේවි



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනයට සම්බන්ධ කිසිවකුට කිසිදු සමාවක් ලබා නොදෙන බවත්, ඒ සැමට තරාතිරම නොබලා දඬුවම් ලබා දීමට කටයුතු කරන බවත් ඇමෙරිකාව කියයි.

ඇමෙරිකා රජය වෙනුවෙන් එරට රාජ්‍ය ලේකම් මයික් පොම්පේ ඕ මෙසේ කියා ඇත්තේ, සෞදියේ ඔටුන්න හිමි මොහොමද් බින් සල්මාන් කුමරුන්ට දුරකතන ඇමතුමක් දෙමිනි.

59 හැවිරිදි ජමාල් කශොග්ජී සෞදි මාධ්‍යාවේදියකු සේම ඇමෙරිකන් පුරවැසියකු ද වෙයි. කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් ඇමෙරිකාව මැදිහත් වී සිටින්නේ එහෙයිනි.

මාධ්‍යවේදියකු ලෙස කශොග්ජී දැඩි ලෙස ඔටුන්න හිමි සල්මාන් කුමරු විවේචනය කළ අයෙකි. එහෙයින්, සෞදි කුමරුන්ගේ අණ පරිදි, මාධ්‍යවේදියා මරා දැමුණු බවට සැකයක් පවතී. කෙසේ නමුත් ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි සල්මාන් කුමරු අවධාරණය කර තිබේ.

කශොග්ජී සම්බන්ධයෙන් තුර්කිය පමණක් නොව, සෞදි අරාබිය ද වෙන වෙනම පරීක්ෂණ පැවැත්වීය. තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේ දී කශොග්ජී මරා, සිරුර කොටස් කර, රසායනික දියරයක් භාවිත කරමින් දිය කර කිසිදු සාක්ෂියක් ඉතුරු නොකළ බවට තුර්කි පොලිසිය විසින් තහවුරු කර ගනු ලැබුණි.

ඝාතනය සිදුවෙද්දී, කොන්සල් කාර්යාලයේ හඬපට සියල්ල තුර්කි පොලිසියට ලැබී ඇත. එම හඬපට ඇමෙරිකාවට, සෞදියට, ප‍්‍රංශයට, බි‍්‍රතාන්‍යයට සහ ජර්මනියට ලබා දීමට තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් කටයුතු කර තිබේ.

මේ අතර, පසුගිය සති අන්තයේ, පළමු ලෝක යුද්ධය නිමා වී වසර 100 ක් ගත වීම නිමිත්තෙන් ප‍්‍රංශයේ පැරිස් නුවර පැවැත්වුණු සැමරුමට සමගාමීව, ලෝකනායකයන් වෙනුවෙන් රාත‍්‍රී භෝජන සංග‍්‍රහයක් ද පැවැත්විණි. එහිදී ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඕ ට‍්‍රම්ප් සහ තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් එකිනෙකා හමුවී සාකච්ඡුා පැවැත්වූහ. සාකච්ඡාවලට පාදක වූයේ ජමාල් කශොග්ජී ඝාතනයයි.

(රොයිටර්ස්)

 


RECOMMEND POSTS