ආර්ථික සම්බාධක ආයුදයක් කරගෙන



ඇමෙරිකා එක්සත් ජනපදය ආර්ථික සම්බාධක “ආයුදයක්” ලෙස භාවිත කරන්නේ යැයි තුර්කි ජනාධිපති තායිප් රෙජෙබ් ඇර්දොවාන් චෝදනා කළේය.
 
එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතමින් එලෙස ඇමෙරිකාවට චෝදනා කළ තුර්කි ජනාධිපතිවරයා ඇමෙරිකාවේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් නිහඬව සිටිය නොහැකි යැයි ද කීවේය.
 
“හිතුවක්කාරි සහ බලහත්කාරී ලෙස වෙළෙඳ ගිවිසුම් අවලංගු කිරීම සම්බන්ධයෙන් අපි කිසිවකුටත් නිශ්ශබ්දව ඉන්න බැහැ. ඒ වගේම ආරක්ෂණවාදය ව්‍යාප්ත වීමත් ආර්ථික සම්බාධක ආයුදයක් ලෙස භාවිත කිරීම ගැනත් අප කාටවත් කතා නොකර ඉන්න බැහැ” යැයි එක්සත් ජාතීන්ගේ මහ සැසිය අමතමින් තුර්කි ජනාධිපතිවරයා කීවේය.
 
ඇමෙරිකා එක්සත් ජනපද පාදිලිවරයකු තුර්කියේදී අත්අඩංගුවට පත්වීමත් සමඟ තුර්කියට සම්බාධක පැනවීමට ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගිය අගෝස්තු මාසයේදී පියවර ගත්තේය. ඒ අනුව ජනාධිපති ට්‍රම්ප් තුර්කි වානේ සහ ඇලුමීනියම් මත බදු පැනවීය. මේ නිසා පසුගිය මාසයේ සිට ඇමෙරිකාව සහ තුර්කිය අතර සබඳතා පළුදු වී ඇත.
 
පසුගිය කාලයේදී තුර්කි මුදල් ඒකකය වන ‘ලීරා’ මුදල් ඒකකය කඩා වැටුණු අතර තුර්කිය තුළ ආර්ථික අර්බුදයක් ඇතිවනු ඇතැයි ද බියක් ඇතිවිය.
 
“නව ආර්ථික පිපිරීමක් අත්දැකීමට ලෝකයට අවශ්‍යතාවක් නැහැ” යැයි තුර්කි ජනාධිපති ජනාධිපතිවරයා කීය. 
තුර්කි ජනාධිපතිවරයා ඇමෙරිකාවට සෘජුව චෝදනා නොකළ ද අර්බුද, අවුල් වියවුල් නිර්මාණය කරන රටවල් යැයි පවසමින් ඇමෙරිකාවට වක්‍රාකාරව චොද්නා කළේය.
 
“අවුල් වියවුල් නිර්මාණය කිරීම හරි පහසුයි. එහෙත් ලෝක සාමය ස්ථාපිත කිරීම පහමු නැහැ. අද ඇතැම් රටවල් නිරන්තරයෙන් අවුල් වියවුල් නිර්මාණය කරන්න උත්සාහ කරනවා” යැයි ද කීය.  
 
හර්ෂණ තුෂාර සිල්වා

RECOMMEND POSTS