ආරක්ෂක කවුන්සිලය රැස්වෙයි



ඇමෙරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ බටහිර රටවල් සිරියාවේ ඩැමැස්කස් නුවර ඉලක්ක කිහිපයකට ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ රුසියාවේ ඉල්ලීම පරිදි අද, සෙනසුරාදා (14) ආරක්ෂක කවුන්සිලය රැස්වීමට නියමිතය.

සිරියාවට එස් - 300 මිසයිල ආරක්ෂණ පද්ධතියක් ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව ද රුසියාව අද නිවේදනය කළේය.

“ඇමෙරිකාව සහ ඔවුන්ගේ මිත්‍ර රටවල ආක්‍රමණශීලි ක්‍රියාකලාපය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමක් කැඳවන්න” යැයි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එම පණිවිඩය ක්‍රෙම්ලීන වෙබ් අඩවිය ඔස්සේ ප්‍රකාශයට පත් කර තිබිණි.

“සිරියාව සහ ඒ අවට මේ වනවිය ඇතිවෙමින් තත්ත්වය සමස්ත ජාත්‍යන්තර සබඳතා පද්ධතියට අහිතකර ලෙස බලපෑම් එල්ල කරනවා” යැයි ද පුටින් ජනාධිපතිවරයා තම නිවේදනයේ සඳහන් කර තිබිණි.

ඩූමා හි සිවිල් වැසියන් ඉල්ල කර ගනිමින් සිරියානු රජයේ හමුදා එල්ල කරන බව කියන විස වායු ප්‍රහාරයට ප්‍රතිචාරයක් ලෙස ඇමෙරිකා එක්සත් ජනපදය, බි්‍රතාන්‍යය සහ ප්‍රංශය සෙනසුරාදා අළුයම් කාලයේදී ඩැමැස්කස් නුවරට මිසයිල ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර 100කට වැඩි ප්‍රමාණයක් එලල් කළේය. බටහිර රටවල් සිරියාවේ බෂාර් අල් අසාද් පාලනයට එරෙහිව කරන ලද විශාලතම මැදිහත්වීම මෙයයි.

ඇමෙරිකාවේ මෙම ක්‍රියාකලාපය සිරියාවේ මානුෂීය අර්බුදය තවදුරටත් උග්‍ර කළ බවත් සිරියාවේ සිවිල් වැසියන්ට වේදනාවක් ඇති කළ බවත් ජනාධිපති පුටින් කීවේය. 

“රුසියාව ඇමෙරිකාව ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර රටවල මෙම ප්‍රහාරය හැකි දරුණුතම හා ප්‍රබලතම ආකාරයට හෙළා දකිනවා. රුසියානු හමුදාව නීත්‍යානුකූලා හමුදාවකට සහ ආණ්ඩුවකට ත්‍රස්තවාදයට එරෙහිව කරන සටනකට සහාය දක්වමින් සිටින අවස්ථාව ඇමෙරිකාව ප්‍රමුඛ ඔවුන්ගේ මිත්‍ර රටවල් එල්ල කරන ලද ප්‍රහාරය ආක්‍රමණයක්. අපි ඊට ප්‍රතිචාර දක්වනවා” යැයි ජනාධිපති පුටින් තම නිවේදනය ඔස්සේ අවධාරණය කළේය.

සිරියාවට පමණක් නොව තර්ජනයට ලක්වී සිටින අනෙක් රටවලට මතුපිට සිට ගුවනට විදිය හැකි එස් - 300 මිසයිල ආරක්ෂණ පද්ධති ලබාදීම කෙරෙහි අවධානය යොමු කරන බව රූපවාහිනි විකාශයකට එක්වෙමින් කර්නල් ජෙනරාල් සර්ගේ රුඞ්ස්කෝයි පැවැසීය.

මීට වසර කිහිපයකට පෙර රුසියාව සිරියාවට එවැනි මිසයිල ප්‍රහාර පද්ධතයක් ලබාදීම ප්‍රතික්ෂේප කළේය.

“අපි මීට වසර කිහිපයකට පෙර සිරියාවට මෙවැනි පද්ධතියක් දීම ප්‍රතික්ෂේප කළා. එහෙත් බටහිර රටවලින් එල්ල වන පීඩනයත් සමඟ ඒ සම්බන්ධයෙන් නැවත සැලකා බලනවා. ඇමෙරිකාව සිරියාවට එල්ල කරන ලද ප්‍රහාරත් සමඟ අපි ඒ ගැන නැවත සලකා බලනවා. සිරියාවට පමණක් නෙවෙයි අනිත් රටවලටත් අපි ඒවා ලබාදීම සම්බන්ධයෙන් සලකා බලනවා” යැයි කර්නල් ජෙනරාල් සර්ගේ කීය.

සිරියාව සතුව ගුවන් ආරක්ෂණ පද්ධතියක් තිබෙන අතර එම පද්ධතියේ බොහෝ කොටස් සෝවියට් සමූහ ආණ්ඩුව සමයේ නිෂ්පාදිතය ඒවාය. එම පද්ධතියට ව්‍යර්ථ කිරීමට හැකියාව ලැබී ඇත්තේ මිසයිල 71ක් පමණි.

“පසුගිය වසර එකහාමාරක කාලයේදී රුසියාව සිරියාවේ ගුවන් ආරක්ෂණ පද්ධතිය නැවත ස්ථාපිත කරනු ලැබුවා. ඒ වගේම එම පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කළා” යැයි ද කර්නල් ජෙනරාල් සර්ගේ කීවේය.

හර්ෂණ තුෂාර සිල්වා

(රොයිටර්)


RECOMMEND POSTS