සාකච්ඡා වටයක්



සිරියානු අර්බුදය සම්බන්ධයෙන් ජෝර්දානය හා රුසියාව අතර මේ සතියේදී සාකච්ඡා වටයක් පැවැත්වීමට නියමිතව තිබේ.

නිරිත දිග සිරියාවේ සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම වෙනුවෙන් ජෝර්දානය රුසියාව සමඟ මෙලෙස සාකච්ඡා පැවැත්වීමට නියමිතව ඇති අතර ඒ තුළින් දහස් ගණනක් සරණාගතයන්ට නැවත ඔවුන්ගේ නිවෙස්වලට යෑමට අවස්ථාව උදා වනු ඇතැයි ජෝර්දාන විදේශ අමාත්‍යවරයා සඳුඳා (2) පැවැසීය.

මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා තමන් අඟහරුවාදා (3) මොස්කව් වෙත ගමන් කරන බවත් බදාදා (4) රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් සමඟ සාකච්ඡා පවත්වන බව ජෝර්දාන විදේශ අමාත්‍ය අයිමාන් සෆාදි පැවැසීය.

සිරියාවේ නිරිත දිග ප්‍රදේශය කැරැලිකරුවන්ගේ පාලනයෙන් මුදා ගැනීම සඳහා රුසියාවේ සහාය ලබන සිරියානු රජයේ හමුදා මේ වනවිට මෙහෙයුම් දියත් කර තිබේ.

නිරිත දිග ප්‍රදේශයේ ගැටුම් හේතුවෙන් 270,000කට ආසන්න පිරිසක් අවතැන් වී ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය සඳුඳා (2) නිවේදනය කළේය. මීට දින කිහිපයකට පෙර අවතැන්වූවන්ගේ සංඛ්‍යාව 160,000ක් වූ අතර ඒ අනුව අවතැන්වූවන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබේ. එම අවතැන් පිරිස් බොහෝමයක් ජෝර්දාන දේශසීමා සහ ඊශ්‍රායල පාලනයේ පවතින ගෝලාන් කඳුකරය වෙත ගමන් කරමින් සිටින බව පැවසේ.

“කඩිනමින් සටන් විරාමයක් කැඳවීම සම්බන්ධයෙන් අවංක සාකච්ඡාවක් පැවැත්වීමට මා බලාපොරාත්තු වෙනවා. මේ අර්බුදයේදී ඕනෑම විසඳුමක් සඳහා රුසියාව අවශ්‍ය වෙනවා. රුසියාව වැදගත් පාර්ශවකරුවෙක්” යැයි ජෝර්දාන විදේශ අමාත්‍ය සෆාදි කීය.

(රොයිටර්)


RECOMMEND POSTS