විලියම් කුමරු ජෝර්දානයේ



දින පහක මැදපෙරදිග සංචාරයක් ආරම්භ කළ බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරු ජෝර්දානයේ අම්මාන් අගනුවරට පැමිණියේය.

විලියම් කුමරුන්ට, ජෝර්දානයේ දෙවැනි අල් හුසේන් බින් අබ්දුල්ලා ඔටුන්න හිමි කුමරුන්ගෙන් හිමිවූයේ ඉතා උණුසුම් පිළිගැනීමකි. අම්මාන් අගනුවර බ්‍රිතාන්‍ය තානාපතිවරයාගේ නිල නිවසේ බ්‍රිතාන්‍ය මහ රැජිනයේ ජන්ම දිනය වෙනුවෙන් ප්‍රිය සාදයක් ද පැවැත්විණි. එම අවස්ථාවට විලියම් කුමරු ද එක් විය.

මෙම මැදපෙරදිග සංචාරයේ විලියම් කුමරු පලස්තීනයේත් ඊශ්‍රායලයේත් සංචාරයකට යෑමට නියමිතය. මෙය ඓතිහාසික අවස්ථාවක් වෙයි. ඊට හේතුව බ්‍රිතාන්‍ය රජ පවුලේ කිසිදු සාමාජිකයකු මීට පෙර නිල වශයෙන් ඊශ්‍රායලයේ හෝ පලස්තීන පාලන ප්‍රදේශයේ හෝ සංචාරයකට සහභාගී වී නැත.

විලියම් කුමරු පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් පමණක් නොව, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු හමුවීමට නියමිතය.

1948 වසරේ යුද ගැටුම් නිසා හෙම්බත්ව සිටි බි්‍රතාන්‍ය පාලනයෙන් පලස්තීනය ගිලිහී ගියේය. එම අවස්ථාව වෙද්දී, බ්‍රිතාන්‍යයේ කිරුළ දැරුවේ විලියම් කුමරුන්ගේ මී මුත්තකු වුණු 6 වැනි ජෝර්ජ් රජුය.

එදායින් පසු, මේ වනතුරු බි්‍රතාන්‍ය රජ පවුලේ කිසිවකු නිල වශයෙන් ඊශ්‍රායලයට හෝ පලස්තීනයට ගොස් නැති බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

කෙසේ නමුත් නිල නොවන මට්ටමින්, විලියම් කුමරුන්ගේ පියා චාල්ස් කුමරු සහ පිලිප් කුමරු ජෙරුසලට ම පැමිණ ඇත. ඒ, පිලිප් කුමරුන්ගේ මෑණියන් වූ ඇලිස් ආර්යාවගේ සොහොනට ගෞරව දැක්වීම සඳහාය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS