සම්බාධක දමද්දී සාකච්ඡා බෑ



ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉරානයට නව සම්බාධක පනවා ඇති අතර, ඒ සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරන ඉරාන ජනාධිපති විමසා ඇත්තේ ඇමෙරිකාව මේ විදියට සම්බාධක පනවන්නේ නම්, සාකච්ඡා පවත්වන්නේ කෙසේදැයි කියාය.

ඉරානයට එරෙහිව නව සම්බාධක පැනැවීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්  පියවර ගත්තේ ධවල මන්දිරයේදී විධායක නියෝගයකට අත්සන් තබමිනි.

ඉරානයට උපරිම ආර්ථික පීඩනයක් එල්ල කිරීම මෙම නව සම්බාධකවල අරමුණ යැයි ජනාධිපති ට්‍රම්ප් එම විධායක නියෝගයට අත්සන් තැබීමෙන් පසු මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.

ඉරානය සහ ට්‍රම්ප් අතරේ නොහොද නෝක්කඩු පවතී. ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත් වූයේ ද ඉරානය දැඩි ලෙස විවේචනය කරමිණි.

ඊශ්‍රායලයේ ප්‍රසාදය දිනා ගනිමින්, මැදපෙරදිග කලාපයේ ත්‍රස්තවාදය පුතුරුවන්නේත් ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන ලොව අංක එකේ රාජ්‍යය වන්නේත් ඉරානය යැයි ට්‍රම්ප් චෝදනා කර ඇත. ඇමෙරිකාවේ ජාතික ආරක්ෂාවට පමණක් නොව ඇමෙරිකාවේ ආර්ථිකයට පවා ඉරානය තර්ජනයක් බව ට්‍රම්ප් පෙන්වා දී තිබේ.

ට්‍රම්ප්ට පෙර ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩිමොක්‍රටික් පාක්ෂික බැරැක් ඔබාමාය. ඔබාමා ඉරානය සමඟ යහපත් සබඳතා ඇති කර ගැනීමට උත්සාහ කළේය. ඉරාන න්‍යෂ්ටික වැඩසටහන ලොවට තර්ජවයක් බව පෙන්වා දී, එය සීමා කිරීමට නව ගිවිසුමක් සකස් කළේය. ඒ, සෙසු බටහිර රටවල් වන බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය පමණක් නොව, චීනය සහ රුසියාව ද හවුල් කර ගෙනය.

ඒ අනුව 2015 දී, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින්, ඉරානය සහ ලෝක බලවතුන් අතර පොදු එකඟත්වයක් ඇතිවිය. ඉරානය ඔවුන්ගේ න්‍යෂ්ටික කටයුතු සීමා කළේය.

මෙම ගිවිසුමෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට, ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කර තිබේ. කෙසේ නමුත්, ඇමෙරිකාව ඉවත් වුණත් තමන් ගිවිසුමෙන් ඉවත් නොවන බව, සෙසු රටවල් වන බි්‍රතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, රුසියාව සහ චීනය පවසා ඇත. 2015 වසරේ දී ඇති කරගත් න්‍යෂ්ටික එකඟතාව සම්බන්ධයෙන් ට්‍රම්ප් පවසා ඇත්තේ එය ඉරානයට වාසි වන අයුරින්, ඒක පාර්ශ්වීය එකඟාවක් කියාය.

මේ අතර, කිසිදු කොන්දේසියක් නොමැතිව, ඉරාන ජනාධිපති හසන් රොව්හානී සමඟ සාකච්ඡා පැවැත්වීමට තමන් සූදානම් බව ජනාධිපති ට්‍රම්ප් මීට දින කීපයකට පෙර පැවැසීය. ‘ඇමෙරිකා ජනාධිපතිවරයා කොන්දේසි නොමැතිව සාකච්ඡා කරන්න කැමැතියි කියනවා. ඒත් දිගින් දිගටම අපට සම්බාධක දැමීමක් කරන්නේ නම්, අපි කොහොමද සාකච්ඡා කරන්නේ. ඒක විහිළුවක්’ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසා ඇත.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS