තානාපති කාර්යාලය මාරු කරන්න එපා



ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස ජෙරුසලම පිළිගනිමින්,  ඕස්ටේ‍්‍රලියා තානාපති කාර්යාලය ජෙරුසලටම මාරු කිරීමට  ඕස්ටේ‍්‍රලියා රජය ගෙන ඇති තීරණයට ඉන්දුනීසියාවෙන් දැඩි විරෝධයක් එල්ල වී ඇත.

ඇමෙරිකාව අනුගමනය කරමින්, ඊශ‍්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගෙන, ඊශ‍්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීම කෙරෙහි අවදානය යොමු වී ඇතැයි  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් ප‍්‍රකාශ කළේ මීට සති කිහිපයකට පෙරය.

ස්කොට් මොරිසන්  ඕස්ටේ‍්‍රලියාවේ අගමැති ධුරයට පත් වූයේ පාලක පක්ෂයේ නායකයා බවට පත් වෙමිනි.  ඕස්ටේ‍්‍රලියාවේ අගමැති ධුරයට පත් වන්නේ පාලක පක්ෂයේ නායකත්වයට පත්වන තැනැත්තාය. ඒ අනුව, අගමැතිවරයා ලෙස කටයුතු කරමින් සිටි මැල්කම් ටර්න්බුල්ට, පක්ෂ නායකත්වය පමණක් නොව අගමැති ධුරය ද අහිමි විය.

මැල්කම් ටර්න්බුල් මේ වනවිට ඉන්දුනීසියාවට අයත් බාලි දූපතේ සංචාරයක නියැලෙමින් සිටී. එහිදී ඉන්දුනීසියා ජනාධිපති ජෝකෝ විඩාඩෝ හමුවී සාකච්ඡුා පැවැත්වීය. නව අගමැති ස්කොට් මොරිසන් ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දුනීසියා ජනාධිපතිවරයා සිය අප‍්‍රසාදය සහ විරෝධය පළ කළේ එම අවස්ථාවේදීය.

ජෙරුසලමට ඊශ‍්‍රායලය පමණක් නොව, පලස්තීනය ද අයිතිවාසිකම් කියයි. පලස්තීනුවන් කියන්නේ එය තමන්ගේ අගනුවර කියාය. විදෙස් තානාපති කාර්යාල ඇත්තේ ඊශ‍්‍රායලයේ ටෙල් අවීව් නුවරය.

ඩොනල්ඞ් ට‍්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, ජෙරුසලම ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස පිළිගෙන ටෙල් අවීව් හි පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කළේය.
ට‍්‍රම්ප් පරිපාලනය, ඊශ‍්‍රායල රජයට සහ අගමැති බෙන්ජමින් නෙදන්යාහුට සහාය පළ කරමින් ගත් මෙම තීරණය පලස්තීනුවන්ගේ පමණක් නොව, ලොව රටවල් බොහොමයක දැඩි විරෝධයට හේතුවක් විය. ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර පවතින අර්බුදය තවත් උත්සන්න වීමට ද මෙය හේතුවක් විය.

තම තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කිරීමේ අදහසක් ඇති බව  ඕස්ටේ‍්‍රලියා අගමැති ස්කොට් මොරිසන් ඉකුත් 16 වැනිදා නිවේදනය කළේ ඊශ‍්‍රායලය සහ පලස්තීනය අතර දිනේන දින ඔඩුදුවන අර්බුදයට විසඳුම ද්වී රාජ්‍ය සංකල්පය බව තමන් පිළිගන්නා බවත්, එලෙස එම අර්බුදය විසඳීමෙහිලා අවශ්‍ය සියලූම සහාය තමන් දෙපාර්ශ්වයට ලබා දෙන බවත් පවසමිනි.

ජෙරුසලම ඊශ‍්‍රායලයේ අගනුවර ලෙස පිළිගැනීමට සලකා බැලීමට,  ඕස්ටේ‍්‍රලියා අගමැති මොරිසන් ගත් තීරණය ප‍්‍රසංශනීය මෙන්ම නිර්භීත එකක් බවත්, තමන්  ඕස්ටේ‍්‍රලියා අගමැතිවරයාට ඇමැතුමක් දී ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවත්, එමගින් ඊශ‍්‍රායලය සහ  ඕස්ටේ‍්‍රලියාව අතර මිතුදම් තවත් ශක්තිමත් වුණු බවත් ඊශ‍්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබුණි.

(ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS