සාකච්ඡා අත්හිටුවයි



සෞදි අරාබිය සමඟ පැවැත්වීමට නියමිතව තිබූ එක්සත් ජනපද ඩොලර් බිලියනයක වටිනාකමකින් යුත් අභ්‍යාවකාශ ව්‍යාපෘතිය සම්බන්ධ සාකච්ඡා තාවකාලිකව අත්හිටුවන බව බිලියනපති ව්‍යාපාරික රිචඞ් බ්‍රැන්සන් පැවැසීය.

සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන් වීම නිසා එම තීරණය ගත් බව ‘වර්ජින්’ සමාගමේ හිමිකරු වන රිචඞ් බ්‍රැන්සන් කීය. ජමාල් කශෝගී ඔක්තෝබර් 2 වැනිදා තම විවාහයට අදාළ ලිපි ලේඛන කිහිපයක් ලබා ගැනීම සඳහා තුර්කියේ ඉස්තාන්බුල්හි පිහිටි සෞදි කොන්සියුලර් කාර්යාලයට ගියේය. එහෙත් ඔහු ඉන් පිටතට පැමිණි බවට කිසිදු තොරතුරක් නොමැත. ඔහු සෞදි කොන්සියුලර් කාර්යාලය තුළ දී ඝාතනයට ලක්ව ඇතැයි ඇතැම් පිරිස් චෝදනා කරති.

“තුර්කියේදී සිදූ බවට අපට ලැබෙන තොරතුරු සත්‍ය නම්, මාධ්‍යවේදී ජමාල් කශෝගිගේ අතුරුදන් වීම සත්‍ය බව තහවුරු වුවහොත් බටහිර රටවල් සෞදි රජය සමඟ ව්‍යාපාර කිරීම පිළිබඳව නැවත වරක් සිතා බැලිය යුතු” යැයි රිචඞ් බ්‍රැන්සන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

රිචඞ් බ්‍රැන්සන්ට අයත් වර්ජින් සමූහය සහ සෞදි අරාබියේ ‘රාජ්‍ය ආයෝජන අරමුදල’ අතර අභ්‍යාවකාශ සමාගමක් සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබිණි. වර්ජින් සමූහය ඒ වෙනුවෙන් එක්සත් ජනපද ඩොලර් බිලියනයක මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබිණි.

රතු මුහුද ආශ්‍රිතව කෙරෙන සෞදි සංචාරක ව්‍යාපෘති දෙකක අධ්‍යක්ෂධුරය හෙබ වූ බ්‍රැන්සන් එම තනතුරුවලින් ඉවත් වන බව ද ප්‍රකාශ කළේය. සෞදි මාධ්‍යවේදීයාගේ අතුරුදන් වීමට ඊට ද හේතු  වී ඇත.

සෞදි අරාබියේ ‘රාජ්‍ය ආයෝජන අරමුදල’ මේ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැත.
ජමාල් කශෝගී සෞදි අරාබියේ ප්‍රතිපත්ති දැඩි ලෙස විවේචනයට ලක් කළ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත නියෝජනය කළ මාධ්‍යවේදියෙකි.

හර්ෂණ තුෂාර සිල්වා
රොයිටර්


RECOMMEND POSTS