තුර්කියට කිසිදු සමාවක් නෑ



දිනෙන් දින ඔඩුදුවන තුර්කි ඇමෙරිකා අර්බුදය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ තුර්කියට කිසිදු සමාවක් නොදෙන බවය.

‘තුර්කිය දිගින් දිගටම හිතුවක්කාර අන්දමින් කටයුතු කරන බව පේනවා. ඒක කනගාටුවට කරුණක්. ඔවුන් දන්නේ නැහැ ඔවුන් කරන්නේ ලොකු වරදක්. ඔවුන්ට කිසිදු සමාවක් ලැබෙන්නේ නැහැ.’ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් අවධාරණය කර තිබේ.

ජනපති ට්‍රම්ප් මෙසේ තුර්කියට තර්ජනය කිරීමත් සමඟ ඇමෙරිකාව සහ තුර්කිය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා බිඳ වැටීමේ අවදානමක් හටගෙන ඇති බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ඇමෙරිකාව සහ තුර්කිය අතර අර්බුද කිහිපයක් පවතී. එම අර්බුද පසුගිය දා උත්සන්න වූයේ ඇන්ඩෘ බ්‍රන්සන් නමැති දේවගැතිවරයා මුල්කොට ගනිමිනි. තුර්කියේ සිටින මොහු ඇමෙරිකානුවෙකි.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් බලයෙන් නෙරපා දැමීමට 2016 දී හමුදාව සිදුකළ කුමන්ත්‍රණයට දේවගැතිවරයා අනුබල දුන්නේ යැයි තුර්කි රජය චෝදනා කරයි. එම චෝදනා සම්බන්ධයෙන් වරදකරු වී දේවගැති ඇන්ඩෘ බ්‍රන්සන් අවුරුදු දෙකකට ආසන්න කාලයක් බන්ධනාගාරගත කර සිටී.

2016 වසරේ දියත් කෙරුණු එම හමුදා කුමන්ත්‍රණය අසාර්ථක විය. ඒ, ජනතාව, ජනාධිපති එර්දොවාන්ට සහාය පළ කරමින් වීදි බැස හමුදාවට අභියෝග කිරීම නිසාය.

තුර්කි කම්කරු පක්ෂය ඇතුළු විපක්ෂ දේශපාලන කණ්ඩායම් කුමන්ත්‍රණය පසුපස සිටින බවට තුර්කි ජනාධිපති චෝදනා කරයි. ඇන්ඩෘ බ්‍රන්සන් ද එම පක්ෂ සමඟ සබඳා පැවැත්වූ අයකු බව පැවැසෙයි.

ඇමෙරිකා රජය තුර්කියට දන්වා ඇත්තේ වහා ඇන්ඩෘ බ්‍රන්සන් නිදහස් කරන ලෙසය. තුර්කිය මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය. ඒ අනුව, ඇමෙරිකාව තුර්කියේ වානේ සහ ඇලුමියිනම් අපනයන සඳහා බදු දෙගුණයකින් ඉහළ දැම්මේය. මේ හේතුව නිසා තුර්කිය ආර්ථික අර්බුදයකට ද මුහුණ දී සිටී.

තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ට දිගින් දිගටම චෝදනා කර ඇත්තේ, ඇමෙරිකාව තුර්කියට තර්ජනය කරමින්, තුර්කිය දණ ගැස්සීමට උත්සාහ ගන්නා බවය. ඇමෙරිකාවේ තර්ජනවලට තමන් බය නැති බවත්, ඇමෙරිකා ජනපති ට්‍රම්ප් සහ ඔහුගේ රජය ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත වහා වෙනස් කළ යුතු බවත් තුර්කි ජනාධිපතිවරයා අවධාරණය කර තිබේ. ඇමෙරිකාව ඔවුන්ගේ ක්‍රියා පිළිවෙත වෙනස් නොකරන්නේ නම්, තමන් නව මිතුරන් සොයා ගැනීමට පසුබට නොවන බව ද තුර්කි ජනාධිපතිවරයා වැඩි දුරටත් පවසා ඇත.

තුර්කියේ සමීපතම හිතවතා වන ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාවෙන් කිසියම් අඩුපාඩුවක් වන්නේ නම්, ඒ වෙනුවෙන් තමන් සහායට සිටින බවය. ඉරානය තව තවත් තුර්කිය සමඟ එක්වීම ඇමෙරිකාව කැමැත්තක් නොදක්වන බව ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

(රොයිටර්)


RECOMMEND POSTS