ඇමෙරිකාව හුදෙකලා වෙයි



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම යැයි පිළිගනිමින්, එරට ඇමෙරිකන් තානාපති කාර්යාලය මාරු කිරීමට ජනාධිපති ඩොලන්ඞ් ට්‍රම්ප් ගත් තීරණයෙන් පසු, ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ හුදෙකලා වී ඇතැයි මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජික රටවල් ගණන පහකි. ඇමෙරිකාව එහි ප්‍රබල සාමාජිකයෙකි. සෙසු බටහිර සාමාජික රටවල් සැමවිටම ඇමෙරිකාවට පක්ෂපාතීව, ඇමෙරිකාවේ තීන්දු තීරණ සැමවිටම අනුමත කරයි.

ජෙරුසිලම සම්බන්ධයෙන් ට්‍රම්ප් ගත් තීරණයත් සමඟ එම බටහිර හිතවාදී රටවල් වන ප්‍රංශය, එක්සත් රාජධානිය, ජර්මනිය ඇමෙරිකාවෙන් ඈත් වී සිටින බව පෙනී ගොස් ඇත.

ජගත් ආරක්ෂක මණ්ඩලය  හදිසියේ රැස්විය. ඒ, ට්‍රම්ප් ගත් තීරණයෙන් පසු ලොව පුරා මුස්ලිම් වැසියන්ගෙන් ඔහුට විරෝධයක් එල්ල වීමත්, ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇවිලී යෑමත් සමඟය.

ආරක්ෂක මණ්ඩලය රැස්වුණු අවස්ථාවේදී, එක්සත් රාජධානිය, ප්‍රංශය, ජර්මනිය, ස්වීඩනය, බොලිවියාව, උරුගුවේ, ඉතාලිය, සෙනගාලය සහ ඊජිප්තුව තරයේ ඇමෙරිකාවට සිය අප්‍රසාදය පළ කළේය.

‘ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරණයත් සමඟ මැදපෙරදිග සාම කතා මුළුමනින්ම බිඳ වැටුණා. එය කිසිසේත් අනුමත කළ නොහැකියි. අපි සැමවිටම උත්සාහ ගන්නවා ජාත්‍යන්තර රාමුවේ සිට ඊශ්‍රායල පලස්තීන සාම කතා ඇති කරන්නත් මැදපෙරදිග අර්බුදයට විසඳුමක් දෙන්නත්.’ යැයි එම රටවල් එක් වී නිවේදනය කළේය.

ඇමෙරිකාව නියෝජය කරමින් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල සැසියට සහභාගී වන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධිනයේ ඇමෙරිකන් තානාපතිනිය නිකී හේලිය.

(ප්‍රෙස් ටීවී)

 


RECOMMEND POSTS