ෂැංග්හයි සහයෝගීතා සමුළුව ඇරැඹේ



යූරෝ ආසියා රටවල රාජ්‍ය නායකයන් සහභාගී වන ආර්ථික, දේශපාලන සහ ආරක්ෂක සමුළුව හෙවත් ‘ෂැංග්හයි සහයෝගීතා සමුළුව’ අද (9) චීනයේ ක්විංඩෝහිදී ආරම්භ විය.

සමුළුව පැවැත්වෙන්නේ චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නායකත්වයෙනි. මෙවර සමුළුවට රුසියාව සහ චීනය එක් වී, ඉරානයට ද ඇරැයුම් කර ඇත.

ඉරාන ජනාධිපති හසන් රොව්හානි සමුළුවට පැමිණෙද්දී, ඔහුට චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් පමණක් නොව, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගෙන් ද ලැබුණේ උණුසුම් පිළිගැනීමකි.

ඇමෙරිකාව, රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමය එක් වී, ඉරානය සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා පවත්වා, එරට න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමට පොදු එකඟතාවක් ඇති කර ගත්තේය. ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ලෙස කටයුතු කළේ බැරැක් ඔබාමාය.

කෙසේ නමුත් මේ වනවිට, ඇමෙරිකාව එම එකඟතාවෙන් ඉවත් කර ගැනීමට වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පියවර ගෙන ඇත. ට්‍රම්ප්ගේ තීරණයට රුසියාව, චීනය, මහා බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සහ යුරෝපා සංගමය විරෝධය පළ කර ඇති අතර, ඔවුන් දිගටම ඉරානය සමඟ ඇති කරගත් ගිවිසුමේ රැඳී සිටින බව පවසා තිබේ.

මේ අතර ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, ඉරානයට නව ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවීමට කටයුතු කර ඇත. අමෙරිකාව ගිවිසුමෙන් ඉවත් වීමෙන්, ඉරානයට අඩු පාඩුවක් වන්නේ නම්, එම අඩුපාඩුව පිරවීමට තමන් ඉදිරිපත් වන බව රුසියාව සහ චීනය පවසා ඇත. ඉරාන ජනාධිපතිවරයාට මෙවර ෂැංග්හයි සමුළුවට පැමිණෙන්නැයි ආරාධනා ලැබුණේ ඒ අනුවය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS