මැදපෙරදිග නව අර්බුදයක්



ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසිලම ලෙස පිළිගැනීමට ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කිරීම හෙළා දකිමින්, ඉරාන ජනපති හසන් රොව්හානි පවසන්නේ, ට්‍රම්ප්ගේ ක්‍රියාවෙන් මැදපෙරදිග නව අර්බුදයක් නිර්මාණය වී ඇති බවය.

ජෙරුසිලම සෑම මුස්ලිම් වැසියකුගේම අයිතියක් බවත්, එය පලස්තීන අගනුවර මිස ඊශ්‍රායල අගනුවර නොවන බවත් ඉරාන ජනපතිවරයා පෙන්වා දුන්නේය.

ට්‍රම්ප්ගේ තීරණයෙන් පසු මේ වනවිට ඊශ්‍රායල පලස්තීන ගැටුම් ඇවිළෙමින් පවතින බව ද වාර්තා වේ. ඊට අමතරව, මුස්ලිම් රටවල් රැසකින් ද ට්‍රම්ප්ට දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතී.

ඉරාන ජනපතිවරයා මේ බව කියා සිටියේ තෙහෙරාන් නුවරදී මාධ්‍යවේදීන් පිරිසක් හමුවුණු අවස්ථාවේදීය.

රොව්හානි, එම මාධ්‍යවේදීන්  හමුවූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර බලා යෑමට සූදානමින් සිටිද්දීය. ඉරාන ජනපති තුර්කිය බලා යන්න ඉස්ලාමීය සහයෝගීතා සමුළුවට සහභාගී වීමේ අරමුණ ඇතිව යැයි ද පැවැසෙයි.

මේ අතර ට්‍රම්ප්ගේ තීරණය හෙළා දැකීමට ඉරාන ආරක්ෂක ඇමැති බි්‍රගේඩියර් අමීර් හටාමී සහ තුර්කි ආරක්ෂක ඇමැති නුරේටින් කැනිකිල් කටයුතු කර ඇතැයි ද වාර්තා වේ. ඉරාන ආරක්ෂක ඇමැතිවරයා පවසා ඇත්තේ ට්‍රම්ප් කළේ ලොකු වැරැද්දක් කියාය.

(ප්‍රෙස් ටීවී)


RECOMMEND POSTS