ඊශ්‍රායලය රටක් විදියට පිළිගන්නේ නෑ



ඊශ්‍රායලය ප්‍රාන්තයක් මිස රටක් ලෙස තමන් පිළිනොගන්නා බවත්, ඊශ්‍රායල පලස්තීන මැදපෙරදිග අර්බුදය සාමකාමීව විසඳීමට මැදහත්කරුවකු වීමට තමන් කැමැත්තෙන් පසුවන බවත් ඕමානය කියයි.

මේ බව ප්‍රකාශ කළේ ඕමාන විදේශ ඇමැති යූසුෆ් බින් අලාවි බින් අබ්දුල්ය. ඒ, බහරේනයේ පැවැත්වුණු ආරක්ෂක සමුළුවට එක්වෙමිනි. විදේශ ඇමැතිවරයා එම සමුළුව අමතමින් කියා සිටියේ, ඕමාන සුල්තාන් කබූස් කිසිම අවස්ථාවක ඊශ්‍රායලය වෙනම රාජ්‍යයක් ලෙස පිළිගන්නේ නැති බවය.

ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය බව ඕමාන සුල්තාන්වරයාගේ විශ්වාසය බව ද විදේශ ඇමැති යූසුෆ් බින් අලාවි බින් අබ්දුල් ආරක්ෂක සමුළුවේදී පැහැදිලි කළේය.

මේ අතර, මැදපෙරදිග සාමය වෙනුවෙන් ඕමාන රජය ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සමඟ දිගින් දිගටම සාකච්ඡා පවත්වමින් සිටින බව ද වාර්තා වේ.

කෙසේ නමුත් ට්‍රම්ප් පරිපාලනය ඉදිරිපත් කරන කිසිදු සාම සැලැස්මකට තමන් එකඟ වන්නේ නැතැයි, පලස්තීන පාලන අධිකාරිය සහ එරට ජනාධිපති මොහොද් අබ්බාස් පවසා ඇත. ඒ, ඇමෙරිකාව ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස පිළිගැනීම හේතුවෙනි.

ඉකුත් සිකුරාදා (26) ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු ඕමානයට පැමිණ, සුල්තාන් කබූස් හමුවිය. එම සංචාරය කලින් නොදන්වා කළ එකක් විය. අගමැති නෙදන්යාහුගේ මෙම ඕමාන සංචාරය ඓතිහාසික එකකි. අවසන් වරට ඊශ්‍රායල නායකයකු ඕමානයට පැමිණ ඇත්තේ 1996 වසරේදීය.

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS