න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත් වෙන්න සැරැසෙයි



බැරැක් ඔබාමා ඇමෙරිකාවේ ජනපති ධරය හොබවද්දී, 2015 වසරේ දී, ඇමෙරිකා රජය ලොව සෙසු බලවත් රටවල් ද සමඟ එක් වී, ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන මුල්කොට ගනිමින් ඇති කරගත් පොදු එකඟතා ගිවිසුමෙන් ඉවත් වීමට ඇමෙරිකාවේ වත්මන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් සූදානම් වෙයි.

ඉරානය සමඟ ඇති කරගත් එම න්‍යෂ්ටික එකඟතාවෙන් ඉවත් වීමට  ජනාධිපති ට්‍රම්ප් සූදානම් වෙන්නේ, ඉරානය එම එකඟතාව උල්ලංඝනය කර ඇතැයි චෝදනා කරමිණි.

න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමෙන් පසු, ඉරානය දිගටම ඔවුන්ගේ මිසයිල අත්හදා බැලීම් කර ගෙන ගියේය. ට්‍රම්ප් බලයට පත් වීමෙන් පසුව ද ඉරානය දිගු දුර මිසයිල අත්හදා බැලුවේය.

ට්‍රම්ප් බලයට පත් වූයේ ද ඉරානයට චෝදනා කරමිණි. මැදපෙරදිග කලාපයේ පමණක් නොව, ලෝකයේ ත්‍රස්තවාදයට අනුග්‍රහය දෙන්නේ ඉරානය යැයි ට්‍රම්ප් චෝදනා කර තිබේ. එම චෝදනා සම්බන්ධයෙන් ඉරානයට නව සම්බාධක පැනවීමක් කිරීමට ද ට්‍රම්ප් කටයුතු කර තිබේ.

කෙසේ නමුත් ඇමෙරිකාවට එම ගිවිසුමෙන් ඉවත් වීමට නම්, ට්‍රම්ප් කී පමණින් එය කළ නොහැකි වෙයි.

කොංග්‍රස් මණ්ඩලයේ ද අනුමැතිය ට්‍රම්ප්ගේ තීරණයට හිමිවිය යුතු බව ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරයි. තීරණයක් ගැනීමට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයට දින 60 ක කාලයක් හිමිවනු ඇතැයි ද පැවැසෙයි.

(රොයිටර්)


RECOMMEND POSTS