පලස්තීනුවෝ 58 ක් මරුට



ජෙරුසලමේ ඇමෙරිකන් තානාපති කාර්යාලය විවෘත කිරීමත් සමඟ ඊට විරෝධය දක්වමින්, ගාසා තීරයේ විරෝධතාවල නියැලුණු පලස්තීනුවන් 58 දෙනකු මේ වනවිට ඊශ්‍රායල වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ.

වෙඩි ප්‍රහාරයට ලක් වී තුවාල ලැබූ ගණන 2,700 කි. 2014 වසරේ ඊශ්‍රායලය සහ පලස්තීනය අතර පැවැති දින කිහිපයකට සීමා වුණු ගැටුම්වලින් පසු පලස්තීනුවන් බොහෝ දෙනකු ඝාතනය වුණු පළමු අවස්ථාව මෙය වෙයි.

ගාසා තීරයේ ඇති වූ ගැටුම්වලින් මියගිය පිරිස් අතර අවුරුදු 20ට අඩු දරුවන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. 

ගාසා තීරයට පලස්තීන වැසියන් 35,000කට වැඩි පිරිසක් පැමිණි බවත් දිගින් දිගටම විරෝධතා සහ ගැටුම් ඇති වූ බවත් ඊශ්‍රායල ආරක්ෂක අංශ සඳහන් කළේය. ‘ජනතාවට මුවා වී හමාස් සංවිධානය ත්‍රස්තවාදී මෙහෙයුමක් දියත් කරන්නේ යැයි ද ඊශ්‍රායල ආරක්ෂක අංශ ගාසා තීරයේ පාලනය හොබවන හමාස් සංවිධානයට චෝදනා කර ඇත.
 

හර්ෂණ තුෂාර සිල්වා

(ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS