පලස්තීනුවන්ට දෙන ආධාර කපයි



ගාසා තීරයේ සහ බටහිර ඉවුරේ පලස්තීනුවන් වෙනුවෙන් ලබා දෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 200 කට වැඩි ආර්ථික ආධාර නැවැත්වීමට ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් නියෝග කර ඇති බව වාර්තා වේ.

ගාසා තීරයට සහ බටහිර ඉවුරට ලබා දුන් එම මුදල් ඇමෙරිකාවට හිතවත් ආධාර අවශ්‍ය පාර්ශ්ව කවුරුන්දැයි හඳුනාගෙන ඔවුන්ට ලබා දෙන්නැයි ජනාධිපති ට‍්‍රම්ප් උපදෙස් ලබා දී ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

එපමණක් නොව, එක්සත් ජාතින්ගේ සහනසාධක ඒජන්සිය පලස්තීනුවන් වෙනුවෙන් ලබා දෙන ඇමෙරිකන් ඩොලර් මිලියන 65 ක ආධාර මුදලක් ද පලස්තීනුවන්ට ලබා නොදෙන්නැයි ජනාධිපති ට‍්‍රම්ප් උපදෙස් ලබා දී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ සහනසාධක ඒජන්සිය ලබා දෙන්නේ ද ඇමෙරිකා රජය ලබා දෙන මුදල්ය.

පලස්තීනුවන් වාසය කරන්නේ ගාසා තිරයේ සහ බටහිර ඉවුරේය. මෙම පළාත් එකිනෙකට විරුද්ධ ස්ථාන දෙකක පිහිටා ඇත. ඊශ‍්‍රායලයේ යුදෙව්වන්ගේ බලපෑම් හමුවේ පලස්තීනුවන්ට තනි රාජ්‍යයක් නිර්මාණය කිරීමට ගැටලූවක් වී ඇත්තේ එහෙයිනි.

ඇමෙරිකා ජනාධිපති ලෙස ට‍්‍රම්ප් බලයට පත් වූ දා පටන් පලස්තීන පාලන අධිකාරිය සමඟ මත ගැටුම් ඇති කර ගත්තේය. ට‍්‍රම්ප් කොන්දේසි විරහිතව ඊශ‍්‍රායලයට සහාය පළ කරයි. මුළු ලොවම විරුද්ධ වෙද්දී, ට‍්‍රම්ප් ඊශ‍්‍රායලයේ අගනුවර ජෙරුසලම ලෙස නම් කළේය. ඒ, ඊශ‍්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය ජෙරුසලමට මාරු කරමින්ය.

මේ සමඟ පලස්තීනය සහ ට‍්‍රම්ප් පරිපාලනය අතරේ අර්බුදය උත්සන්න විය. මැදපෙරදිග එසේත් නැතිනම් ඊශ‍්‍රායල පලස්තීන අර්බුදය සම්බන්ධයෙන් ඇමෙරිකාව තව දුරටත් සාන නියෝජිතයා ලෙස තමන් පිළි නොගන්නා බවත්, ඇමෙරිකාව ඉදිරිපත් කරන සාම සැලැසුම් පිළි නොගන්නා බවත් පලස්තීනය තරයේ කියා සිටියේය.

එම අවස්ථාවේදී ජනාධිපති ට‍්‍රම්ප් කිටා සිටියේ, පලස්තීනුවන් වෙනුවෙන් ලබා දෙන සියලූම ආධාර නැවැත්වීමට ඇමෙරිකාව පියවර ගන්නා බවය. ඒ අනුව, ට‍්‍රම්ප් පරිපාලනය එම ආධාර නවත්වා ඇත.

රොයිටර්


RECOMMEND POSTS