පලස්තීනුවන්ට සාමයේ පණිවුඩය



සාමයේ පණිවුඩය පලස්තීන්වන්ට දෙන්නැයි, ඓතිහාසික මැදරපෙරදිග සංචාරයක් අරඹමින්, ඊශ්‍රායලයට පැමිණි  විලියම් කුමරුන්ගෙන් ඊශ්‍රායල ජනාධපති රෙයුවින් රිවිලින් ඉල්ලීමක් කළේය.

ඊශ්‍රායල සංචාරයෙන් පසු, විලියම් කුමරු පලස්තීන පාලන ප්‍රදේශයට යෑමටත්, පලස්තීන ජනාධිපති මොහොමද් අබ්බාස් හමුවී සාකච්ඡා පැවැත්වීමටත් නියමිතය.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙදන්යාහු සහ බිරිඳ සේරා හමුවී කතාබහ කිරීමට පෙර, ඊශ්‍රායල ජනාධිපති රිව්ලින් සහ විලියම් කුමරු අතර හමුව පැවැත්විණි.

දශක ගණනාවක් තිස්සේ ඔඩුදුවන ඊශ්‍රායල පලස්තීන අර්බුදය තවත් කඩිනමින් විසඳා ගැනීම කළ යුතු බවත් එය කළ යුත්තේ බාහිර පාර්ශව හවුල් කර ගනිමින් නොව, ඊශ්‍රායලයට සහ පලස්තීනයට පමණක් බවත්, පලස්තීන ජනාධිපති අබ්බාස්ට පවසන්නැයි ඊශ්‍රායල ජනාධිපති රිව්ලින් විලියම් කුමරුන්ට මෙම අවස්ථාවේදී පැවැසීය.

ඊශ්‍රායල පලස්තීන දේශපාලන අර්බුදයට විලියම් කුමරු මෙසේ සම්බන්ධ කරවා ගැනීම උචිත නොවන බවට බොහෝ දෙනාගෙන් ඊශ්‍රායල ජනාධිපතිවරයාට චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

විලියම් කුමරු පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක්, බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලයේ දී පැවැත්විණි. ඒ, ඊශ්‍රායලයේ බ්‍රිතාන්‍ය තානාපති ඬේවිඞ් ක්වෙරීගේ ද ප්‍රධානත්වයෙනි. එම අවස්ථාවේදී විශේෂ දේශනයක් පවත්වමින් විලියම් කුමරු කියා සිටියේ සදාතනික සාමයක් වෙනුවෙන් සැවොම කැපවිය යුතු බවය.

ටෙල් අවීව් වෙරළ තීරයේ සංචාරයක නියැලීමට ද විලියම් කුමරු අමතක නොකළේය. එහිදී වෙරළට රැස්ව සිටි ඊශ්‍රායල වැසියන්ගෙන් ලැබුණේ ඉහළ පිළිගැනීමකි. තරුණියෝ විලියම් කුමරු දැක කෑ කෝ ගසන්න වූ බව ද වාර්තා වේ.
තමන් පිළිගැනීමට රැස්ව සිටි පිරිස අතරට ගොස්, කුමරු ඔවුන් සමඟ අතට අත දෙමින්, සුහඳව කතාබහ කළේය. මුහුදු වෙරළේ වොලිබෝල් ක්‍රීඩා කරමින් සිටි තරුණයන් පිරිසක් හමුවී ඔවුන් සමඟ ඡායාරූප ගැනීමට ද විලියම් කුමරු කටයුතු කළේය.

විලියම් කුමරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊශ්‍රායල පාසල් සිසුන් වෙනුවෙන් පැවැත්වුණු විශේෂ පා පන්දු වැඩමුළුවකට ද විලියම් කුමරු සම්බන්ධ විය. එහිදී පා පන්දුවෙන් දස්කම් පෙන්වීමට ද ඔහු සමත් වුණැයි බ්‍රිතාන්‍යයේ ද මේල් ඔන්ලයින් පුවත් සේවය වාර්තා කරයි.

(ඒ.එෆ්.පි.)


RECOMMEND POSTS