පලස්තීනුවන්ගේ උපවාසය අවසන්



චෝදනා ඉදිරිපත් කිරීමකින් තොරව, ඊශ්‍රායල බන්ධනාගාරවල රඳවා සිටින පලස්තීන ජාතිකයන් වෙනුවෙන් පලස්තීන වැසියන් ආරම්භ කර තිබුණු උපවාසය ඊයේ (27) අවසන් විය. ඒ, ඊශ්‍රායල රජය සහ පලස්තීන පාලන අධිකාරිය අතර ඇති කරගත් එකඟතාවකට අනුවය.

චෝදනා ඉදිරිපත් නොකර තමන් රඳවා ගෙන සිටින බවටත්, බන්ධනාගාර තුළදී  තමන් වධබන්දනයන්ට ලක් කරන බවටත් චෝදනා කරමින් උපවාසය මුලින්ම ආරම්භ කළේ පලස්තීන සිරකරුවන් පිරිසකි. ඒ, පසුගිය අප්‍රේල් 17 වැනිදාය. උපවාසයට සම්බන්ධ වූ පලස්තීන සිරකරුවන් ගණන 800 කි.

ඉන්පසු පලස්තීන පාලන ප්‍රදේශවල පලස්තීනුවන් පමණක් නොව, විදේශවල සිටින පලස්තීනුවෝ පවා උපවාසයට එක් වූහ. දින 40 ක් තිස්සේ උපවාසය පැවැත්විණි.

උපවාසය නවතා දැමීම සිදුවූයේ ජාත්‍යන්තර රතු සංවිධානය මැදිහත් වී ඊශ්‍රායල බලධාරීන් සහ පලස්තීන බලධාරීන් අතර එකඟතාවක් ඇති කර ගැනීමට ඉඩ සළසා දීමෙන් පසුව යැයි මැදපෙරදිග පුවත් සේවා වාර්තා කරයි.

(අල් ජසීරා)

 


RECOMMEND POSTS