‘ජී20’ රාජ්‍ය නායක සමුළුව සෞදියේ



ලෝකයේ ආර්ථික බලවතුන්ගේ හමුව හෙවත් ‘ජී20’ සමුළුව අද (26) සෞදි අරාබියේ දී පැවැත්වීමට නියමිතය.

සමුළු රියාද් නුවරදී පැවැත්වීමට සෞදියේ සල්මාන් රජු සියලු කටයුතු සූදානම් කළ ද ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයේ වයාප්තිය හේතුවෙන් සමුළුවට කිසිදු රාජ්‍ය නායකයකු හෝ නියෝජිතයකු හෝ පැමිණෙන්නේ නැත.

ඒ අනුව, ‘ජී20’ රටවල රාජ්‍ය නායකයන් සහ නියෝජිතයන් සමුළුවට සහභාගී වනු ඇත්තේ වීඩියෝ තාක්ෂණය ඔස්සේය. ‘ජී20’ හමුවක් මෙසේ වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වනු ඇතැයි ද පැවැසෙයි.

චීන ජනාධිපති ෂී ජින්පින් ද බීජීං අගනුවර සිට හමුවට වීඩියෝ තාක්ෂණයෙන් එක්වීමට නියමිත අතර, මෙවර සමුළුවේදී කාගේත් කතාබහට ලක්වනු ඇත්තේ ‘කෝවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසයෙන් ලෝකයට එල්ල වන බලපෑමය.

ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ද ධවල මන්දිරයේ සිට සමුළුවට එක් වනු ඇතැයි පැවැසෙයි.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS