හොස්නි මුබාරක් සමුගනී



ඊජිප්තුවේ හිටපු ජනාධිපතිවරයකු වන හොස්නි මුබාරක් අභාවප්‍රාප්ත විය.

දශක තුනක් ඊජිප්තුව පාලන කළ හොස්නි මුබාරක් 2011වසරේදී ජනාධිපති ධුරයෙන් ඉවත් කෙරුණි. එම වසරේදී ඇති වූ ‘අරාබි වසන්තය’ විරෝධතා රැල්ලත් සමඟ බලයෙන් පහ කෙරුණු හිටපු ජනාධිපති හොස්නි මුබාරක් මිය යනවිට 91 වැනි වියේ පසුවිය.

ඒකාධිපති පාලකයකු ලෙස ප්‍රකට හිටපු ජනාධිපති හොස්නි මුබාරක්ට විරෝධතාකරුවන් ඝාතනය කළ බවට 2010 වසරේදී චෝදනා එල්ල වූ අතර ඔහු එම චෝදනාවලට වරදකරු කරමින් සිරගත කෙරුණි.

කෙසේ නමුත් 2017 වසරේ දී එරට අධිකරණයක් විසින් ඔහු නිදහස් කරන ලදි.
ඊජිප්තුවේ ජනාධිපති කාර්යාලය ද ඔහු මියගිය බව නිවේදනය කළ අතර හොස්නි මුබාරක්ගේ පුතා අලා මුබාරක් ද සිය පියා මියගිය බව සඳහන් කරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි.
හොස්නි මුබාරක් මිය යන අවස්ථාවේදී ඔහුගේ පවුලේ සාමාජිකයන් ඒ අසළ වූ බවත් රෝහලේදී ඔහු මියගිය බවත්, මුබාරක්ගේ මස්සිනා කෙනකු වන ජෙනරාල් මුනිර් තාබෙට් පැවැසීය.
හිටපු ජනාධිපතිවරයාගේ අවසන් කටයුතු හමුදා උත්තමාචාර යටතේ අද (26) පැවැත්වෙන බව ද ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ප්‍රංශ පුවත් සේවයට පැවැසීය.

මුබාරක් කලක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ අතර මීට දින කිහිපයකට පෙර කයිරෝ අගනුවර හමුදා රෝහලකට ඇතුළත් කළේය. ඔහු එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

කයිරෝහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS