හොඳම ගුරුවරයා කෙන්යාවේ පාදිලිවරයෙක්



කෙන්යාවේ ද්විතීක මිශ්‍ර පාසලක ඉගැන්වීම් කරන පාදිලිවරයෙකු පසුගිය දා 2019 වසරේ ලොව හොඳම ගුරුවරයා ලෙස සම්මානයට පාත්‍ර විය.

ලොව හොඳම ගුරුවරයා වූයේ, භෞතික විද්‍යා සහ ගණිත ගුරුවරයකු ලෙස කැපවීමෙන් සේවය කරන පීටර් ටැබ්චී නමැති 36 හැවිරිදි පාදිලිවරයෙකි.

මෙම වසරේ හොඳම ගුරුවරයා වෙනුවෙන් ලොව නන්දෙසින් ගුරුවරුන්ගේ නම් දෙදහසකට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණු අතර, අවසන් වටයට නව දෙනකු තෝරා ගැණින. එම නව දෙනා අතර සිටි පීටර් ටැබ්චී, සෙසු පිරිස අභිබවා යමින් ලොව හොඳම ගුරුවරයා ලෙස සම්මානය හිමිවිය.

පීටර් ටැබ්චී ඉගෙනීම් කටයුතු කරන්නේ, කෙන්යාවේ ‘රිෆ්ට් වැලී’ නිම්නයේ අති දුෂ්කර පළාතක පිහිටි ‘පවානී’ ගම්මානයේ මිශ්‍ර පාසලේය. එම පාසලේ ඉගෙනුම ලබන බොහෝදෙනකු මාපිය සෙනෙහස අහිමි වූ ඉතා දිළිඳු දරු දැරියන් යැයි පැවැසෙයි. බොහෝ දෙනකු කිලෝ මීටර් 7 ක් 8 ක් දුර සිට පාසලට පයින් පැමිණෙන බව පාදිලිවරයා කියා සිටී.

ලැබෙන වැටුපෙන් සියයට 80 ක් පීටර් ටැබ්චී පාසලේ දරු දැරියන් වෙනුවෙන් යොදවන බව ද පැවැසෙයි. ලොව හොඳම ගුරුවරයා වීමත් සමඟ පීටර් ටැබ්චී ට ඇමෙරිකන් ඩොලර් මිලියනයක තෑගි මුදලක් ද හිමිවිය. ලැබුණු එම මුදල පාසලේ දරුදැරියන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් යොදවන බව පීටර් ටැබ්චී පැවැසීය.

2019 වසරේ හොඳම ගුරුවරයා ලෙස පීටර් ටැබ්චී පාදිලිවරයා සම්මානයට පාත්‍ර වූයේ පසුගිය දා ඩුබායි හි පැවැති විශේෂ උත්සවයේදීය. එම උත්සවය මෙහෙයවීම කළේ හොලිවුඩය ජයගත් ඕස්ටේ්‍රලියා නළු හියු ජැක්මන්ගේ ප්‍රධානත්වයෙනි.
ලොව හොඳම ගුරුවරයා ලෙස ගුරු වෘත්තියේ නියැලෙමින් කැපී පෙනෙන සේවාවක් ඉටු කරන ගුරුවරුන් ඇගැයීමට ලක් කරන්නේ ඩුබායි කෙන්ද්‍රකොට ගත් ‘වාර්කී’ පදනම මගිනි. ‘වාර්කී’ පදනම මෙම වසරේ  ලොව හොඳම ගුරුවරිය තේරීම සිදු කළේ පස්වැනි වරටය.

ඩුබායිහිදීය (අල් ජසීරා ඇසුරිනි)


RECOMMEND POSTS