හිස ඔසවන්න බැරි විදියට සම්බාධක දානවා



ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා ඇතුළු විදෙස් හමුදා, එරටින් නෙරපීමට ඉරාක පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ දැඩි විරෝධය එල්ල වී ඇත.

විදෙස් හමුදා ඉරාකයෙන් නෙරපා දැමීමේ නව යෝජනාවලිය ඉරාක පාර්ලිමේන්තුවේ සම්මත වූයේ ඒකමතිකවය. යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එරට භාරකාර අගමැති අබ්දුල් අබ්දෙල් මහ්දීය. එම යෝජනාව සම්මත කර ගැනීම සිදුවූයේ ඉරාකයට පැමිණ සිටි ඉරාන හමුදා ප්‍රධානී මේජර් ජනරාල් කසීම් සුලෙයිමාන් ඇමෙරිකන් හමුදාවේ ඩ්‍රෝන යානා ප්‍රහාරයකින් ඝාතනය වීමය.

ඉරාක පාර්ලිමේන්තුව ගත් තීරණය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත්තේ, ඇමෙරිකන් හමුදා ඉරාකයෙන් නෙරපා දැම්මොත්, ඉරාකයට දිගට හරහට සම්බාධක පැනවීමට පියවර ගන්නා බවය.

‘ඉරාකයේ බැග්ඩෑඞ් අගනුවර අපේ ගුවන් කඳවුරක් තිබෙනවා. ඒ කඳවුර ඉදි කරන්න අපට ඩොලර් බිලියන ගණණක් වැයවුණා. ඉරාක රජය අපට එරටින් යන්න කියනවා නම්, ඒ ගුවන් කඳවුර වෙනුවෙන් වැය වුණු සියලු මුදල් ඉරාකය අපට ආපසු දෙන්න ඕනෑ.’ යැයි  ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.

ඉරාක භාරකාර අගමැති ලෙස කටයුතු කරන අබ්දුල් අබ්දෙල් මහ්දී ද තරයේ පවසා ඇත්තේ ඇමෙරිකාව ඇතුළු විදෙස් හමුදා ඉරාකයෙන් පිටවී යා යුතු බවය. ඒ අනුව, ඉරානයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා පමණක් නොව, නේටෝ සංවිධානයට අයත් සෙසු හමුදා ද ඉරාකයෙන් පිටවී යා යුතුය.

ඇමෙරිකන් හමුදා ඉරාකයේ රැඳී සිටින්නේ සදාම් හුසේන් පාලනය පෙරළා දැමීමෙන් පසුවය.  අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් පරාජය කිරීමේ දී ඇමෙරිකන් සොල්දාදුවන්ගේ සහාය ඉරාක රජයට හිමිවිය. අයි.එස්. ත්‍රස්තවාදීන් පරාජය කිරීමෙන් පසු, ත්‍රස්තවාදීන් යළි හිස එසවීම වළැක්වීම සඳහා ඉරාක හමුදාවට නේටෝ හමුදාවෙන් විශේෂ පුහුණුවක් හිමිවෙයි. පාර්ලිමේන්තුව සම්මත කරගත් නව යෝජනාවට අනුව ඇමෙරිකන් හමුදා පමණක් නොව, අවි පුහුණුව ලබා දෙන නේටෝ හමුදා ද ඉරාකයෙන් පිටවී යා යුතුය.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS