හමුදා ඉවත් කරගැනීමේ අදහසක් නෑ



ඉරාක රජයෙන් කුමන ආකාරයක බලපෑම් එල්ල වුවත්, ඉරාකයේ රඳවා සිටින ඇමෙරිකන් හමුදා එරටින් ඉවත් කර නොගන්නා බව ඇමෙරිකා ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් විශේෂ මාධ්‍ය හමුවකදී පැවැසීය.

මාධ්‍ය හමුව පැවැත්වූයේ ඉරාන හමුදා ප්‍රධානී ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතනය මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් ඉරානයත් අතර හටගත් අර්බුදය සම්බන්ධයෙනි. ඉරාකයෙන් ඇමෙරිකන් හමුදා ආපසු ගෙන්වා ගන්නවාදැයි මාධ්‍ය හමුවට සහභාගී වූ එක් මාධ්‍යවේදියකු ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර්ගෙන් විමසුවේය.
‘නැහැ. පැහැදිලිව කියනවා. ඉරාකයෙන් ඇමෙරිකන් හමුදා ඉවත් කර ගැනීමේ කිසිම අදහසක් නැහැ. ඒක පැහැදිලියි. ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ තීරණය එයයි’ යැයි ආරක්ෂක ලේකම්වරයා අවධාරණය කළේය.
ඉරාකයේ රැඳී සිටින ඇමෙරිකන් හමුදා ඇතුළු විදෙස් හමුදා, එරටින් නෙරපීමට ඉරාක පාර්ලිමේන්තුව ඒකමතිකව තීරණය කළේ පසුගිය 5 වැනිදාය. ඒ, විදෙස් හමුදා ඉරාකයෙන් නෙරපා දැමීමේ නව යෝජනාවලිය ඉරාක පාර්ලිමේන්තුවේදී ඒකමතිකව සම්මත වීමත් සමඟය.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එරට භාරකාර අගමැති අබ්දුල් අබ්දෙල් මහ්දීය. යෝජනාව සම්මත කර ගැණුනේ ඉරාන හමුදා ප්‍රධානී මේජර් ජනරාල් කසීම් සුලෙයිමානී ඝාතන සිදුවීම මුල්කොට ගනිමිනි.

ඉරාක පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැණුනු නව යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ විරෝධය පළවී ඇත. ඇමෙරිකන් හමුදා ඉරාකයෙන් නෙරපා දැම්මොත්, ඉරාකයට දිගට හරහට සම්බාධක පැනවීමට පියවර ගන්නවා යැයි ඇමෙරිකන් ජනාධිපතිවරයා ඉරාකයට තර්ජනය කර තිබේ.

බැග්ඩෑඞ්හිදීය (ඒ.එෆ්.පී.)

 


RECOMMEND POSTS