හජ් වන්දනාව දහසකට පමණයි



මෙවර හජ් වන්දනාව සඳහා ඉඩ ලැබෙන්නේ සෞදි රාජධානියේ සිටි දහසකට ආසන්න පිරිසකට පමණක් යැයි එරට අමාත්‍යවරයකු පැවැසීය.

නව කොරෝනා වයිරසය හේතුවෙන් මෙරට හජ් වන්දනාව මෙලෙස බැතිමතුන්ට සීමා කිරීමට සිදු වූ බව හෙතෙම කීය.

‘‘මේ අවුරුද්දේ හජ් වන්දනාව 1,000කට සීමා වෙනවා. සමහර විට ඊට පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්’’ යැයි සෞදි අරාබියේ හජ් වන්දනාව පිළිබඳ අමාත්‍ය මොහොමඩ් බෙන්ටන් පැවැසීය.

‘‘මේ අවුරුද්දේ දස දහස් ගණනක් හෝ සිය දහස් ගණනක් එන්නේ නැහැ’’ යැයි හෙතෙම කීය.

මෙම වසරේ මක්කම හජ් වන්දනාව ජූලි මස අගදී පැවැත්වීමට නියමිතය.

නව කොරෝනා වයිරසය නිසා ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් මෙවර හජ් වන්දනාවට අවසර ලැබෙන්නේ වයස අවුරුදු 65ට අඩු පිරිස්වලට සහ නිදන්ගත රෝග කිසිවක් නොමැති අයට පමණි. වාර්ෂික හජ් වන්දනාව වෙනුවෙන් ලොව නන්දෙසින් මිලියන දෙකකට වැඩි පිරිසක් සෑම වසරකදීම ඉස්ලාම් බැතිමතුන්ගේ ශුද්ධ වූ ස්ථානය වන මක්කමට පැමිණෙති.

මෙවර මක්කමට පැමිණෙන සියලු දෙනා ‘කොවිඩ්-19’ පරීක්ෂණයකට යොමු කෙරෙන අතර වන්දනාවෙන් පසුව ඔවුන් සියලු දෙනා සිය නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමු වීම අනිවාර්ය වේ.

මේ වසරේ හජ් වන්දනාව විදෙස් බැතිමතුන්ට තහනම් කෙරෙන බවත් අවසර දෙන්නේ රාජධානිය තුළ සිටින ඉතා සීමිත පිරිසකට බවත් සෞදි අරාබිය සඳුඳා නිවේදනය කළේය..

සෞදි අරාබිය මේ වනවිට නව කොරෝනා වයිරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා දැඩි අරගලයක නිරත වී සිටී. සෞදි අරාබිය නව කොරෝනා වයිරසය හේතුවෙන් ගල්ෆ් කලාපයේ වැඩි බලපෑමක් එල්ල වූ රටවල් කිහිපය අතරින් එකකි.

රාජධානිය තුළ සිටින විවිධ ජාතිකයන්ට හජ් වන්දනාවට අවසර ලැබෙන බව ද සෞදි අරාබිය නිවේදනය කළේය.

කෙසේ නමුත් හජ් වන්දනාව සඳහා බැතිමතුන් තෝරාගන්නේ කෙසේදැයි අමාත්‍ය මොහොමඩ් බෙන්ටන් සඳහන් නොකළේය.

සෞඛ්‍ය උපමානවලට අනුකූල සහ සෞදි අරාබිය තුළ සිටින විදේශිකයන් තෝරාගැනීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් සමඟ සාකච්ඡා කරන බව අමාත්‍යවරයා කීය.

හජ් වන්දනාව යනු ඉස්ලාම් බැතිමතුන්ට ඇතැම් විට තම ජීවිත කාලයේ එක් වතාවක් පමණක් ලැබෙන අවස්ථාවකි. එම නිසා බොහෝ ඉස්ලාම් බැතිමත්හු කෙසේ හෝ හජ් වන්දනාවේ නිරත වීමට උත්සාහ කරති. වාර්ෂික හජ් වන්දනාව වෙනුවෙන් මිලියන ගණනක් මක්කමට පැමිණෙන අතර තෙරපීම නිසා බොහෝ පිරිසකට ජීවිත ද අහිමි වේ.

සෞදි අරාබියෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන 164,000 ඉක්මවා ඇති අතර එරටින් වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිත මරණ ගණන 1,300 ඉක්මවා ගොස් ඇත.

 ඒ.එෆ්.පී.


RECOMMEND POSTS