සෞදි රජුගේ සැත්කම සාර්ථකයි



රෝහල් ගතව සිටින සෞදියේ සල්මාන් බින් අබ්දුල්ලාසී රජු, පිත්තාශය ඉවත් කිරීමේ සැත්කමකට ලක් කළ බවත් සැත්කම සාර්ථක බවත් සෞදි පුවත් සේවා වාර්තා කළේය.

පිත්තාශය ඉදිමීම හේතුවෙන් 84 හැවිරිදි සෞදි රජු රෝහල්ගත කෙරුණේ පසුගිය සති අන්තයේය. සැත්කම සාර්ථක වුවත් සල්මාන් රජුට තවත් දින කීපයක් රෝහලේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි වෛද්‍යවරුන් උපදෙස් දී තිබේ.

රෝහල්ගතව සිටිද්දී පසුගිය 21 වැනිදා, සල්මාන් බින් අබ්දුල්ලාසි රජු රෝහලේ සිට කැබිනට් හමුවකට ද සහභාගී විය. කැබිනට් හමුව පැවැත්වූයේ වීඩියෝ පණිවුඩ හුවමාරු ඔස්සේය. කැබිනට් හමුව සජීවීව සෞදි ජාතික රූපවාහිනියෙන් ද විකාශය කෙරුණි.

සල්මාන් බින් අබ්දුල්ලාසි සෞදි රජු ලෙස කිරුළ දරන්නේ 2015 වසරේ සිටය. සෞදි කිරුළේ මීළඟ උරුමකරු ලෙස සෞදි රජු සිය පුතු සල්මාන් කුමරුන් නම් කර තිබේ. පසුගිය කාලයේ සෞදියේ නව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වූයේ සල්මාන් කුමරුන්ගේ මැදිහත් වීමෙනි.

රියාද්හිදීය (රොයිටර්)


RECOMMEND POSTS