සෞදි ජාතිකයන් 16 කට ඇමෙරිකාව තහනම්



මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනයට සම්බන්ධ යැයි හඳුනා ගත් සෞදි ජාතිකයන් 16 දෙනකුට ඇමෙරිකාවට ඇතුළුවීම තහනම් කළ බව ඇමෙරිකන් රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ මාධ්‍ය හමුවේ පවසා ඇත.

ජමාල් කශොග්ජී සෞදි ජාතිකයකු පමණක් නොව, ඇමෙරිකන් පුරවැසියකු ද විය. කශොග්ජී ඇමෙරිකාවේ ‘වොෂින්ටන් පෝස්ට්’ පුවත්පත සමඟ සම්බ්නධ වී සිටියේය.

කශොග්ජී නිර්දය ලෙස සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් විවේචනය කළ අයෙකි. එහෙයින්, සෞදි කුමරුන්ගේ අණ පරිදි, ඔහුගේ සගයන් කණ්ඩායමක් කශොග්ජී මරා දැමුවේ යැයි සැක කෙරේ.

කශොග්ගේ ඝාතනය සිදුවූයේ පසුගිය ඔක්තෝබර් 2 වැනිදා, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. කශොග්ජීගේ සිරුර පවා මෙතෙක් හමුවී නැත. රසායනික ද්‍රව්‍ය යොදා ගනිමින් එය විනාශ කරන්න ඇතැයි අනුමාන කෙරේ.

කශොග්ජීගේ ඝාතනයට සම්බන්ධ බව පැවැසුණු 21 දෙනකු සෞදි රජය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ට සිර දඬුවම් ද ලබා දී ඇත. කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන්, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන් සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීම කළ නොහැකි බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අදහසය. ඊට හේතුව සෞදිය සමඟ අමනාප වුවහොත්, එය ඇමෙරිකාවට ලොකු අවාසියක් වනු ඇති බව පෙන්වා දෙමිණි.

කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් පැවැත්වීමට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) තීරණය කර ඇති නමුත් ජනපති ට්‍රම්ප්ගෙන් ඊට විරෝධය පළ කර තිබේ. කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවත්, ඊට අදාල යැයි සැක කෙරෙන සෞදි වැසියන්ට සම්බාධක පැනැවීම කළ බවත් ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ පැවැසුවේ කොංග්‍රසයෙන් එල්ල වන බලපෑම් හමුවේය.

වොෂින්ටනයේදීය (රොයිටර්ස්)


RECOMMEND POSTS