සෞදි කුමරු ආරක්ෂා කළා



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ අමානුෂික ඝාතනය සම්බන්ධයෙන් සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ට චෝදනා එල්ල වෙද්දී, කුමරුන් ආරක්ෂා කළේ තමන් යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පවසා ඇත.

ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පවසා ඇත්තේ සී.එන්.එන්. මාධ්‍යවේදී බොබ් වුඞ්වෝඞ් සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවේදීය.

වුඞ්වෝඞ් එම සම්මුඛ සාකච්ඡාව ඇසුරින් ‘රේජ්’ යන නමින් පොතක් එළිදැක්වීමට ද නියමිතය.

ජමාල් කශොග්ජී සෞදි මාධ්‍යවේදියෙකි. ඔහු ඝාතනයට ලක් වූයේ 2018 වසරේ ඔක්තෝබරයේ, තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය. කශොග්ජී, දැඩි ලෙස සෞදියේ සල්මාන් කුමරු විවේචනය කළ අයෙකි.

කශොග්ජී ඝාතනය සිදුවූයේ සල්මාන් කුමරුන්ගේ අනුදැනුම යටතේ බවට සාක්ෂි සහිතව චෝදනා එල්ල විය.

කුමරුන්ට එරෙහිව ලෝකයා නැගී සිටිද්දී, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කුමරුන් වෙනුවෙන් පෙනී සිටියේ ඔහු නිර්දෝශී බව පවසමිනි.

කිසිම අවස්ථාවක ඇමෙරිකාවත් සෞදියත් අතර මිතුදම් පළුදුවීමට තමන් ඉඩ නොදෙන බව ද ජනපති ට්‍රම්ප් එම අවස්ථාවේදී අවධාරණය කළේය.

‘මුළු ලෝකයම දල්මාන් කුමරුන්ට එරෙහි වුණා. කොංග්‍රසය (ඇමෙරිකන් පාර්ලිමේන්තුව) ඔහුට දඬුවම් කරන්න සම්බාධක දමන්න සූදානම් වුණා. ඒත් මා ඔහු වෙනුවෙන් පෙනී සිටියා. මමයි ඔහු ආරක්ෂා කළේ’ යැයි ජනපති ට්‍රම්ප්, බොබ් වුඞ්වෝඞ් සමඟ පවසා තිබේ. ට්‍රම්ප් පැවැසූ සියල්ල, ‘රේජ්’ පොතට ඇතුළත් කර තිබෙනවා යැයි වුඞ්වෝඞ් පවසා තිබේ.

වොෂින්ටනයේදීය (රොයිටර්)


RECOMMEND POSTS