සෞදි-කටාර් විරසකය අවසන්



අසල්වැසි කටාර් රාජ්‍යය සමඟ මුහුදු, ගුවන් සහ ගොඩබිම් දේශ සීමා වසර පහකට පසු යළි විවෘත කිරීමට සෞදි රජය   තීරණය කළේය.

2017 දී සෞදිය, කටාර් රාජ්‍යය සමඟ අමනාප විය. ඊට ප්‍රධානතම හේතුව වූයේ, කටාර් රාජ්‍යය ත්‍රස්තවාදයට අනුග්‍රහය සහ උඩගෙඩි දෙනවා යන චෝදනාවය.

කටාර් රාජ්‍යය ඉරානය සමඟ සමීප සබඳතා පැවැත්වීම සෞදියේ උදහසට හේතුවක් වී තිබුණි.

සෞදියෙන් එල්ල වන චෝදනා කටාර් රාජ්‍යය තරයේ ප්‍රතික්ෂේප කළෙ නමුත් සෞදිය කටාරය සමඟ ගොඩබිම්, මුහුදු සහ ගුවන් දේශසීමා වසා දැමීය.

සෞදියට සහාය දක්වමින්, ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය්‍ය සහ බහරේනය ද කටාර් රාජ්‍යය සමඟ සබඳතා සියල්ල නවතා දැම්මේය.

සෞදිය සහ කටාර් රාජ්‍යය අයත් වන්නේ ගල්ෆ් කලාපීය රටවල් අතරට වන අතර, ගල්ෆ් රටවල සහයෝගීතා මණ්ඩල සැසිය සෞදියේ රියාද් නුවරදී පැවැත්වුණු අතර, ඊට කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ද සහභාගී විය. ඒ, සෞදි රජයේ ආරාධනාව පරිදිය.

ගල්ෆ් සහයෝගීතා සමුළුව පැවැත්වෙන්නේ, ගල්ෆ් රටවල නායකයන්ගේ ප්‍රධානත්වයෙනි. සමුළුවට සහභාගී වෙන්නැයි කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී ට සෞදි රජය ඇරැයුම් කර තිබුණේ පසුගිය දෙසැම්බරයේය. ඉකුත් වසරවලදී පැවැත්වුණු ගල්ෆ් සහයෝගීතා සමුළුවට කටාර් රාජ්‍යය නියෝජනය කරමින් සහභාගී වූයේ කටාර් විදේශ ඇමැතිවරයාය.

කටාර් රාජ්‍යය සමඟ දේශසීමා විවෘත කිරීමට සෞදිය පියවර ගැනීම සම්බන්ධයෙන්, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් සතුට පළ කර තිබේ. සෞදිය, කටාරයට දේශසීමා තහංචි පනවා, ආර්ථික සහ වෙළෙඳ සම්බාධක පැනැවූ අවස්ථාවේදී, කටාරයට සහාය දැක්වූ රටක් වන්නේ තුර්කියයි.

සෞදිය, ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය එක් වී කටාරය හුදෙකලා කළ අවස්ථාවේදී, ඉරානය ද සෞදියට සහාය දැක්වීය. ඉදිරියේදී සෞදිය අනුගමනය කරමින්, ඊජිප්තුව, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ බහරේනය, කටාර් රාජ්‍යය සමඟ යළි සබඳතා ශක්තිමත් කර ගනු ඇති බව ද පැවැසෙයි.

කුවේටයේදීය (රොයිටර්)


RECOMMEND POSTS