සෑම පැය 8 කටම වරක් යේමනයේ මරණයක්



සෑම පැය අටකටම වරක් ප්‍රචණ්ඩ ක්‍රියා හේතුවෙන් යේමන ජාතිකයකු මියයන බව නෝර්වේජියානු සරණාගත කවුන්සිලය සහ ඔක්ෆ්ෆම් සංවිධානය සඳහන් කරති. 

ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක්ව තිබෙන යේමන ආණ්ඩුවත් හූති සටන්කාමීන් අතරත් එකඟතාවක් ඇති කරගත්ත ද යේමනයේ තවමත් ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවන බවත් සෑම පැය අටකට වරක්ම පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වන බවත් ජාත්‍යන්තර සංවිධාන දෙකක් වන නෝර්වේජියානු සරණාගත කවුන්සිලය සහ ඔක්ෆ්ෆම් සංවිධානය සකස් කරන ලද දත්ත සහ තොරතුරුවලින් එම කරුණු අනාවරණය වී ඇත. 

ඇතැම් ප්‍රදේශවල ගැටුම් හා ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වී ඇති බවත් මියයන සහ තුවාල ලබන පිරිස්වල සංඛ්‍යාව දෙගුණ වී ඇති බවත් වාර්තා වේ.

යේමන ආණ්ඩුව සහ හූති සටන්කාමීන් අතර ගිවිසුමට අත්සන් තැබුවේ පසුගිය දෙසැම්බර් මාසයේදී ය. එතැන් පටන් ගතවූ කාලයේදී සෑම දිනකදීම යේමන ජාතිකයන් තිදෙනකු මියගොස් ඇතැයි එම සංවිධාන දෙක සකස් කරන ලද සංඛ්‍යා දත්තවලින් කියැවේ. දෙපාර්ශවය අතර එම එකඟතාව ඇති කරගැනීමෙන් පසු ගුවන් ප්‍රහාර, ෂෙල් වෙඩි ප්‍රහාර, ස්නයිපර් තුවක්කුකරුවන්ගේ ප්‍රහාර හෝ බිම්බෝම්බ හෝ හේතුවෙන් සිවිල් වැසියන් 231 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. එම පිරිසෙන් තුනෙන් එකක් හොඩෙයිඩා පාලන ප්‍රදේශයේ සිවිල් වැසියන් බවත් සටන් විරාමයක් පැවැතිය ද ගැටුම් හේතුවෙන් දරුවන් 56 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත.

හොඩෙයිඩා සටන් විරාමයෙන් සහ ස්වීඩනයේදී ඇති කරගන්නා ලද  ස්ටොක්හෝම් ගිවිසුමෙන් පසු නෝර්වේජියානු සරණාගත කවුන්සිලයට අනුව හජා සහ ටායිස්වල මරුමුවට පත්වූ සිවිල් වැසියන්ගේ සංඛ්‍යාව දෙගුණ වී තිබේ. හජා නගරයේ 164 දෙනකු මියගොස් ඇති අතර ටායිස් නගරයේ 184 දෙනකු මියගොස් ඇත. 

“හොඩෙයිඩා පාලන ප්‍රදේශයේ ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවුණා. එහෙත් රටේ අනෙක් ප්‍රදේශවල ප්‍රචණ්ඩ ක්‍රියා උත්සන්න වෙලා” යැයි යේමනයේ නෝර්වේජියානු සරණාගත කවුන්සිලයේ නේවාසික අධ්‍යක්ෂ මොහොමඞ් අබ්දි පැවැසීය.

“හොඩෙයිඩා වෙත එල්ල වූ ගුවන් ප්‍රහාර සැලකිය යුතු ලෙස අඩුවෙලා. ජන ජීවිතය යථා තත්ත්වයට පත්වීම ආරම්භ වෙලා. එහෙම වුණත් රටේ අනෙක් පැතිවල ප්‍රචණ්ඩ ක්‍රියා දෙගුණ තෙගුණ වෙලා. සිවිල් වැසියන් අසරණ වෙලා. ඔවුන් දැඩි පීඩාවකට ලක්වෙලා” යැයි හෙතෙම කීය. 

කෙසේ නමුත් හොඩෙයිඩා නගරයේ ඇතැම් ස්ථානවල දරුණු ගැටුම් සිදුව ඇතැයි යථා තත්ත්වයට පත්වෙමින් ජන ජීවිතය නැවත වරක් අනෙක්  ව්‍යවසනකාරී තත්ත්වයකට පත්වීමේ අවදානමක් ඇතැයි ද නෝර්වේජියානු සරණාගත කවුන්සිලය සඳහන් කරයි. 

“සාමය උදාවේවි කියලා හිතන්නත් අමාරුයි. සාමය වෙනුවෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැම දවසකම යේමන ජනතාවට ඔවුන්ගේ දරුවන්, ඥාතීන් හිත මිතුරන් අහිමි වෙනවා. යේමන වැසියන්ගේ ජීවිත ඛේදනීය තත්ත්වයකට පත්වෙලා. යේමන ජාතිකයන් ආහාර සහ නිවාස වෙනුවෙන් අරගලයක නිරත වෙලා. යේමනය දැවැන්තම මානුෂීය ව්‍යවසනයට මුහුණ දීලා” යැයි ඔක්ස්ෆම් සංවිධානයේ යේමන නේවාසික අධ්‍යක්ෂ මුෂීන් සිද්දීක් කීය. 

සිවිල් යුද්ධය හේතුවෙන් මිලියන ගණන් යේමන ජාතිකයෝ සාගතයකට මුහුණ දීමේ අවදානමට ගොදුරු වී සිටිති.

එක්සත් රාජධානිය සෞදි අරාබියට අවි ආයුද අපනයනය කිරීමට පියවර ගැනීම ද මෙහිදි මුෂීන් සිද්දීක්ගේ විවේචනයට ලක්විය. යේමනයේ ජාත්‍යන්තර පිළිගත් ආණ්ඩුවට සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් කිහිපයක සහාය හිමිවන අතර සෞදි අරාබිය ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා යේමනයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරයි.

සෞදි අරාබි ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා එල්ල කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් යේමන අර්බුදය උත්සන්න වන බවත් සිවිල් වැසියන් තව තවත් පීඩාවට පත්වෙන බවත් සිද්දීක් තවදුරටත් පැවැසීය. 

හර්ෂණ තුෂාර සිල්වා
‘ද ගාඩියන්’ ඇසුරිනි 

RECOMMEND POSTS