සල්මාන් කුමරු වරදකරු කරන රහස් වාර්තාවක්



සෞදි මාධ්‍යවේදී ජමාල් කශොග්ජී ඝාතනය වූයේ, සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුන්ගේ අනුදැනුම සහ අනුමැතිය යටතේ බව තහවුරු කරන අතිශය රහස් වාර්තාවක් සී.අයි.ඒ. බුද්ධි අංශය සකස් කර ඇති බවත් එම වාර්තාව ඉදිරියේදී ප්‍රසිද්ධියට පත් කිරීමට නියමිත බවත් පැවැසෙයි.

ඇමෙරිකානු සී.අයි.ඒ. බුද්ධිය මෙම වාර්තාව සකසා ඇත්තේ, තුර්වෙකි සහ වෙනත් ජගත් බුද්ධි අංශ ද ලබා දුන් තොරතුරු සහ සාක්ෂි පාදක කර ගනිමින් ය. මාධ්‍යවේදී කශොග්ජී ඝාතනයට හේතු වූ ප්‍රධාන කරුණු කාරණා සහ සල්මාන් කුමරු ඝාතනයට උපදෙස් දුන් ආකාරය ආදී තොරතුරු රැසක් එම රහස් වාර්තාවට ඇතුළත් යැයි පැවැසෙයි.

පසුගිය දා ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ සෞදියේ සල්මාන් රජු අතරේ දුරකතන සංවාදයක් පැවැත්විණි. ඔටුන්න හිමි මොහොද් බින් සල්මාන් කුමරු සල්මාන් රජුගේ පුත්‍රයාය.

එහිදී කලාපීය ආරක්ෂාව සම්බන්ධයෙන් ජනපති බයිඩන් සහ සල්මාන් රජු අතරේ සාකච්ඡා පැවැත්විණි.

ජෝ බයිඩන්, ජමාල් කශොග්ජී සහ සෞදියේ සල්මාන් රජු

යේමන සිවිල් යුද්ධය අවසන් කිරීමට කටයුතු කළ යුතු බව ද සාකච්ඡා කෙරුණි. යේමන යුද්ධයට සම්බන්ධ එක් පාර්ශ්වයක් වන්නේ සෞදි රජයයි. සෞදි රජය සටන් වදින්නේ, යේමනයේ සෞදි හිතවාදී රජය පෙරළා දමන්න උත්සාහ ගන්නා ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන්ට එරෙහිවය.

ඊට අමතරව‍ මානව හිමිකම් කඩනවා යැයි සෞදියට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද ඇමෙරිකන් ජනාධිපතිවරයාත් සල්මාන් රජතුමාත් අතරේ සාකච්ඡා පැවැත්විණි.

ජමාල් කශොග්ජී ඝාතනයට ලක් වූයේ 2018 දීය. ඒ වනවිට සල්මාන් කුමරුන්ගේ උසහසට ලක්වී සිටි ජමාල් කශොග්ජී ඇමෙරිකාවේ ජීවත් විය. ඔහු ඇමෙරිකාවේ වොෂින්ටන් පෝස්ට් පුවත්පතට තීරු ලිපි ලීවේ සල්මාන් කුමරු විවේචනය කරමිණි.

කශොග්ජීට පෙම්වතියක සිටි අතර ඇය සමඟ විවාහ වීමට, කලින් කසාදයේ දික්කසාද ලියවිලි ලබා ගැනීමට අවශ්‍ය විය. කශොග්ජීට පෙම්වතිය තුර්කි ජාතික තරුණියකි. ලියවිලි ලබා ගැනීමට කශොග්ජී, තුර්කියේ ඉස්තාන්බුල් නුවර, සෞදි කොන්සල් කාර්යාලයට ගිය අවස්ථාවේදී ඔහු ඝාතනය වූ අතර, සිරුර ද රසායන ද්‍රව්‍ය යොදා කිසිදු සාක්ෂියක් නොමැතිව විනාශ කරන ලදී.

ඝාතනය සිදු කළේ සෞදියේ සිට ආ විශේෂ කණ්ඩායමක් බව තහවුරු කළේ තුර්කි බුද්ධි අංශය. සල්මාන් කුමරුන්ගේ සමීපතමයන් එම කණ්ඩායමට ඇතුළත් වූ අතර කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් මුළු ලොවට සල්මාන් කුමරුන්ට චෝදනා නගන්න විය.

ඒ වනවිට ඇමෙරිකාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ඩොනල්ඩ් ට්‍රම්ප් වන අතර, ට්‍රම්ප් සෞදියට හිතවත් බැවින්, සල්මාන් කුමරුට චෝදනා එල්ල වන්න නොදී ආරක්ෂා කළේය. කුමන හේතුවක් නිසා හෝ ඇමෙරිකාවට සල්මාන් කුමරු අමනාප කර ගත නොහැකි බව ට්‍රම්ප්ගේ අදහස විය.

තමන් කිසිදු වරදක් නොකළ බව සල්මාන් කුමරුන් ද තරයේ පවසා ඇත.

වත්මන් ඇමෙරිකා ජනාධිපති ඩෝ බයිඩන් සහ ඔහුගේ පරිපාලනය තරයේ පවසා ඇත්තේ, සෞදිය මානව හිමිකම් කඩ කරන්නේ නම්, ඊට එරෙහිව දැඩි පියවර ගැනීමට කිසිසේත් මැලි නොවන බවය. කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් විමර්ශනයක් අවශ්‍ය යැයි බයිඩන් පරිපාලනය තරයේ පවසා ඇත.

(රොයිටර්)


RECOMMEND POSTS