සල්මාන් කුමරු ගැන පැහැදිලි තීරණයක් ගන්න ඕනෑ



ඇමෙරිකාව සහ සෞදි අරාබිය අතර පවතින සබඳතා වඩාත් ඵලදායි ලෙස ඉදිරියට යෑමට නම්, මාධ්‍යවේදී ජමාල් කශොග්ජීගේ ඝාතනයට චෝදනා ලැබ සිටින සෞදියේ මොහොමද් බින් සල්මාන් ඔටුන්න හිමි කුමරු සම්බන්ධයෙන් ඇමෙරිකාව ‘පැහැදිලි තීරණයක්’ ගතයුතු බව ඇමෙරිකන් සෙනෙට් සභික ලින්ඞ්සි ග්‍රැහැම් කියයි.

63 හැවිරිදි රිපබ්ලිකන් පාක්ෂික ලින්ඞ්සි ග්‍රැහැම් මේ බව අවධාරණය කළේ තුර්කියේ අන්කාරා නුවරදී තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවීමෙන් පසුවය. පසුගිය ඔක්තෝබර් 2 වැනිදා, ජමාල් කශොග්ජී ඝාතනයට ලක් වූයේ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සෞදි කොන්සල් කාර්යාලයේදීය.

කශොග්ජී මාධ්‍යවේදියකු ලෙස දැඩි ලෙස සල්මාන් කුමරුන් විවේචනය කළ අයෙකි. කුමරුන්ගේ අණ පරිදි ඝාතනය සිදුවුණු බව සිදු කළ පරීක්ෂණවලින් තුර්කිය අනාවරණය කර ඇත. කෙසේ නමුත් සල්මාන් කුමරු මෙම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි.

සෙනෙට් සභික ලින්ඞ්සි ග්‍රැහැම් වැඩිදුරටත් කියා සිටියේ කශොග්ජී ඝාතනය සම්බන්ධයෙන් සල්මාන් කුමරුන්ට සම්බාධක පැනැවීමට ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය (පාර්ලිමේන්තුව) කටයුතු කරන බවය. මීට පෙර, කොංග්‍රස් මණ්ඩලය සල්මාන් කුමරුන්ට එරෙහිව සම්බාධක පැනැවීමට උත්සාහ කළ ද එය සාර්ථක නොවිණි.

සම්බාධක පැනැවීමට බාධාවක් වී ඇත්තේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ය. ජනාධිපතිවරයා සෞදියේ පමණක් නොව, සල්මාන් කුමරුන්ගේ ද හිතවතෙකි. සෞදිය සමඟ ඇමෙරිකාව පවත්වන ඩොලර් බිලියන ගණනින් ගනුදෙනුවලට එම සම්බාධක බාධාවක් වන බව ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පෙන්වා දී තිබේ.

සල්මාන් කුමරුන්ට සම්බාධක පැනැවීම නොකළත්, ඝාතනයට සම්බන්ධ වූ සෞදි ජාතිකයන් 17 දෙනාට ඇමෙරිකාව සම්බාධක පැනැවීය. ඝාතනයට සම්බන්ධයෙන් සෞදි ජාතිකයන් 21 දෙනකු සෞදි රජය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. සල්මාන් කුමරුන්ගේ අණ සහ උපදෙස් පරිදි කශොග්ජී ඝාතනය සිදු කළේ කුමරුන්ගේ රාජකීය උපදේශක සෞද් අල් කටානී යැයි ද පැවැසෙයි.

අන්කාරා නුවරදීය
අල් ජසීරා ඇසුරිනි


RECOMMEND POSTS