සම්බාධක පැනැවීම නීතිවිරෝධීයි



ඉරානයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදය තනිව ගත් තීරණය ‘‘නීතිවිරෝධී’’ සහ ‘‘පිළිගත නොහැකි’’ එකක් යැයි රුසියාව ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකා එක්සත් ජනපදය ගත් තීරණය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය ඒ බව අවධාරණය කර ඇත.

‘‘ඇමෙරිකා එක්සත් ජනපදය නීතිවිරෝධීව ගෙන ඇති තීන්දු තීරණ මෙන්ම ක්‍රියාමාර්ගවලින් අනෙක් රටවලට ජාත්‍යන්තර නෛතික ප්‍රතිවිපාක අත්වෙන්නේ නැහැ’’ යැයි රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

රුසියාව, ඉරානයේ ප්‍රධාන මෙන්ම සමීප මිත්‍ර රටකි. ඇමෙරිකා එක්සත් ජනපදය ‘‘නාට්‍ය රඟ දක්වමින්’’ සිටින බවත් එසේ වුවත් ඇමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රකාශ ‘‘යථාර්ථයට අනුරූප හෝ යෝග්‍ය හෝ’’ නොවන බවත් රුසියාව චෝදනා කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදය සියලු දෙනාට කන්නාඩි පැළැඳවීමට බල කර ලෝකයේ සිදුවීම් ඔවුන් දකින ආකාරය පෙන්වීමට උත්සාහ කරන බව සඳහන් කරන රුසියාව ‘‘ලෝකය ඇමෙරිකා එක්සත් ජනපදයේ පරිගණක ක්‍රීඩාවක්’’ නොවන බව ද අවධාරණය කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ අකීකරුකම ‘‘එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයට එල්ල වූ දරුණු පහරක්’’ යැයි ද රුසියාව පෙන්වාදෙයි.

‘‘මේක කොහෙත්ම පිළිගන්න බැහැ. අපිට විතරක් නෙමෙයි, ආරක්ෂක කවුන්සිලයේ කිසිදු සාමාජික රටකට මේක පිළිගන්න බැහැ’’ යැයි ද රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ බහුතරයේ ස්ථාවරයට සිය පූර්ණ සහයෝගය දෙන බවත් ඇමෙරිකාවේ ක්‍රියාකාරකම් ‘‘නෛතිකව ශූන්‍ය හා බලරහිත’’ වන බවත් අවධාරණය කරයි.

2015 වසරේ දී අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුමේ කරුණු සාක්ෂාත් කරගැනීම සඳහා අඛණ්ඩව සහාය දෙන බව රුසියාව සඳහන් කරයි.

මේ ඇති වී තිබෙන තත්ත්වය උග්‍ර අතට හැරෙන්නට ඉඩ නොදී ඇමෙරිකා එක්සත් ජනපදය 2015 වසරේ අත්සන් තබන ලද න්‍යෂ්ටික ගිවිසුම විනාශ කරන ක්‍රියාමාර්ග ආපසු හරවා ගත යුතු යැයි ද රුසියාව අවධාරණය කරයි.

ඒ.එෆ්.පී


RECOMMEND POSTS