සටන් විරාමයට කැමැත්තක් නෑ



ලිබියාවේ සටන් විරාමයක් ආරම්භ කිරීමට රුසියාව මැදිහත් වුවත්, ලිබියානු රජයට එරෙහිව සටන් වදින කැරැලිකාර හමුදා නායක ජනරාල් කලීෆා හෆ්තාර්, එම සටන් විරාම ගිවිසුමට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළේය.

ලිබියානු රජයේ නියෝජිතයන් සහ ජනරාල් කලීෆා හෆ්තාර් ප්‍රමුඛ නියෝජිතයන් රුසියාවේ මොස්කව් අගනුවරට ගොස් සිටියේ සටන් විරාමයට අත්සන් තැබීමටය. සටන් විරාමයට අදාල කොන්දේසි සකස් කළේ රුසියාව සහ තුර්කියයි. නේටෝ සාමාජිකයකු ද වන තුර්කියේ සහාය ලැබෙන්නේ ලිබියානු රජයටය.

රුසියාවේ සහාය හිමිවන්නේ ජනරාල් කලීෆා හෆ්තාර් ප්‍රමුඛ කැරැලිකාර පාර්ශ්වයටය. සටන් විරාමය සම්බන්ධයෙන් පාර්ශ්ව දෙක අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වුණු නමුත් අවසානයේ එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි විය. ඒ අනුව, සටන් විරාමයට අත්සන් නොතබා ජනරාල් කලීෆා හෆ්තාර් මොස්කව් නුවරින් පිටවුණු බව වාර්තා වේ.

මොස්කව්හිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS