සටන් විරාමයකට කැමැත්තක් නෑ



උතුරුදිග සිරියාවේ කුර්දිවරුන්ට එරෙහිව ප්‍රහාර නවත්වා, කුර්දි සටන්කාමීන් සමඟ සටන් විරාමයක් ඇති කරගන්නැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කළ ඉල්ලීම, තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

ඇමෙරිකාව අපට කියනවා කුර්දි ත්‍රස්තවාදීන් සමඟ සටන් විරාමයකට යන්න. එහෙම කරන්න හේතුවක් නැහැ. අපි එහෙම කරන්නේ නැහැ. අප සටන් විරාමයකට යන්නේ නැහැ. ඇමෙරිකාව අපේ හමුදා මෙහෙයුම් නවත්වන්න හදනවා. අපට සම්බාධක පනවා තිබෙනවා. අපේ ඉලක්කය පැහැදිලියි. අරමුණ පැහැදිලියි. අප සම්බාධකවලට බය වෙන්නේ නැහැ’ යැයි තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් ඇමෙරිකාවට පවසා ඇත.

සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් හිස ඔසවද්දී, ඇමෙරිකාව ඔවුන්ට එරෙහිව පහරදීම් කළේ කුර්දි සටන්කාමීන්ගේ සහාය ඇතිවය. කුර්දිවරුන්ගේ පාලන ප්‍රදේශ ඇත්තේ සිරියාවේ උතුරු දෙසින් තුර්කියට මායිම්වය. තුර්කිය සලකන්නේ, කුර්දි සටන්කාමීන් බෙදුම්වාදී ත්‍රස්ත කණ්ඩායමක් ලෙසය.

උතුරුදිග සිරියාවේ කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රහාර වහා නවත්වන්නැයි බලකරමින්, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්තුර්කියට සම්බාධක පැනවීමක් කළේය. තුර්කි ආර්ථිකය මුළුමනින්ම අඩපණ කිරීම මෙම සම්බාධකවල අරමුණ යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පැහැදිලි කර තිබේ. කඩිනමින් සටන් විරාමයකට යන්නැයි ජනපති ට්‍රම්ප් තුර්කියට පැවැසුවේ, එසේ සම්බාධක පැනැවීමක් කරන ගමන්ය.

තුර්කි සිරියානු දේශසීමා හරහා, තුර්කිය උතුරුදිග සිරියාවේ කුර්දිවරුන්ගේ පාලන ප්‍රදේශවලට ඇතුළු වී, කුර්දි සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහරදීම් ආරම්භ කළේ සතියකට පමණ පෙර සිටය. ඒ, කුර්දිවරුන් සමඟ සිරියාවේ රැඳී සිටිමින්, අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන් පරාජය කිරීමට සටන් වැදුණු ඇමෙරිකන් සොල්දාදුවන්ගෙන් කොටසක් ආපසු ගෙන්වා ගැනීමට ජනපති ට්‍රම්ප් කටයුතු ක අවස්ථාවේදීය.

ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් ගත් මෙම තීරණය ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පක්ෂ සාමාජිකයන්ගේ පමණක් නොව, ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් සාමාජිකයන්ගේ ද දැඩි විරෝධයට හේතුවක් විය. ඇමෙරිකාව කුර්දි සටන්කාමීන් සහ කුර්දිවරුන් ‘අමාරුවේ’ දැම්මැයි චෝදනා ද එල්ල විය. කුර්දිවරුන් කියා සිටියේ ඇමෙරිකාව තමන්ට ද්‍රෝහිවුණු බවය.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS