සටන් විරාමයකට කැමති වෙයි



උතුරුදිග සිරියාවේ කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන තුර්කි රජය සතියක සටන් විරාමයකට කැමැති කරවා ගැනීමට ඇමෙරිකාව සමත් විය.

ඒ, ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් තුර්කියට ගොස් තුර්කි ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසුවය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් නියෝජනය කරමින්, ඇමෙරිකා උප ජනාධිපති මයික් පෙන්ස්, තුර්කියේ අන්කාරා බලා පැමිණියේ 17 ය. ඒ, ඇමෙරිකා රාජ්‍ය ලේකම් මයික් පොම්පේඕ සහ ඇමෙරිකන් ආරක්ෂක ප්‍රධානීන් ද පිරිවරා ගනිමිනි.

උතුරුදිග සිරියාවේ තුර්කි දේශසීමාවට සමීපව ජීවත් වන කුර්දිවරුන් සහ කුර්දි සටන්කාමීන් මුල්කොට ගනිමින් ඇමෙරිකාවත් තුර්කියත් අතර අර්බුදයක් නිර්මාණය වූයේ, තුර්කිය සිරියාවේ කුර්දිවරුන් ඉලක්ක කර ගනිමින් පහරදීම් ආරම්භ කළ අවස්ථාවේ සිටය.

සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍රස්තවාදීන් අඩපණ කිරීමේදී ඇමෙරිකාව සටන් කළේ කුර්දි බෙදුම්වාදීන් සමඟ අත්වැල් බැඳ ගනිමිනි. තුර්කිය ද අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ සටන් වැදුණු අතර, තුර්කියේ සහාය හිමිවූයේ සිරියානු රජයට විරෝධය දක්වන විපක්ෂ සන්නද්ධ ක්‍රියාකාරීන්ටය.

සිරියාවෙන් අයි.එස්. ත්‍රස්තවාදීන් මර්දනය කිරීමෙන් පසු කුර්දිවැසියන්ගේ ආරක්ෂාවටත්, කුර්දි සටන්කාමීන්ගේ සහායටත් සිටි ඇමෙරිකන් සොල්දාදුවන්ගෙන් කොටසක් ආපසු ගෙන්වා ගැනීමට ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් කටයුතු කළේය. කුර්දිවැසියන් සහ කුර්දි සටන්කාමීන්, බෙදුම්වාදීන් ත්‍රස්තයන් ලෙස තුර්කිය සලකයි. තුර්කිය සලකන්නේ අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තවාදීන්ටත් වඩා කුර්දි බෙදුම්වාදීන් දරුණු කණ්ඩායමක් ලෙසය.

ඇමෙරිකන් හමුදා උතුරුදිග පළාත්වලින් පිටවී යෑමත් සමඟ තුර්කි හමුදා ගොඩබිමින් සහ ගුවනින් කුර්දිවැසියන් ඉලක්ක කර ගනිමින් පහර එල්ල කිරීමට පටන් ගත්තේ මීට සතියකට පෙරය. සටන් විරාමයකට යන්නැයි ඇමෙරිකන් ජනපති ට්‍රම්ප් තුර්කි ජනපතිගෙන් ඉල්ලීමක් කළත් තුර්කි ජනපති ඊට කන් නොදුන්නේය. ‘මෝඩයෙක් වෙන්න එපා’ යැයි ට්‍රම්ප් තුර්කි ජනපතිට ලිපියක් යැවූ අතර, තුර්කි ජනාධිපති එර්දොවාන් එය කුණු කූඩයට විසි කළේ යැයි ද පැවැසිණි.

ඇමෙරිකාව තුර්කියට සම්බාධක පැනැවූ අතර, ඇමෙරිකන් සම්බාධකවලට තමන් බියක් නොදක්වන බව තුර්කි ජනාධිපති කියා සිටියේය. තුර්කිය බලා පැමිණි ඇමෙරිකන් උප ජනාධිපති මයික් පෙන්ස් හමු නොවන බව තරයේ කියා සිටියත්, තුර්කි ජනපතිට අකමැත්තෙන් වුවත් ඇමෙරිකන් උප ජනාධිපති ඇතුළු නියෝජිතයන් හමුවීමට සිදුවිය. ඒ ඇමෙරිකාවෙන් එල්ල වූ පීඩනය හමුවේය. ඒ අනුව, කුර්දිවරුන් සමඟ සතියක සටන් විරාමයකට තුර්කිය එකඟ විය.

අන්කාරාහිදීය (ඒ.එෆ්.පී.)


RECOMMEND POSTS