ලෙබනනයට දේශපාලන ප්‍රතිසංස්කරණ ඕනෑ



බේරූට් වරායේ සිදුවුණු බිහිසුණු පිපිරුමෙන් පසු අකර්මණ්‍ය වූ ලෙබනනයට ආධාර කිරීමට ලෝක නායකයෝ පෙළ ගැසී ඇති අතර, ඔවුන් එක හෙලා පවසා ඇත්තේ ලෙබනනයට නව දේශපාලනික ප්‍රතිසංස්කරණ අවශ්‍ය බවය.

ලෙබනනයට ආධාර එකතු කිරීම සිදුවන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මැදිහත් වීමෙනි. බේරූට් පිපිරීම සිදුවූයේ පසුගිය 5 වැනිදාය. ජනපති මැක්රොන් පසුගිය 6 වැනිදා බේරූට් නුවරට ගොස් සිදුවුණු මහා විනාශය දැක බලා ගත්තේය.

ප්‍රංශ ජනාධිපති මැක්රොන් මැදිහත් වී, ලෝක නායකයන් සම්බන්ධ කර ගනිමින් ලෙබනනයට ආධාර එක් කිරීමේ සමුළුවක් පැවැත්විණි. ඒ, වීඩියෝ පණිවුඩ ඔස්සේය.

බේරූට් නුවර පිපිරීම සිදුවූයේ වරායේ ගබඩාවක අනාරක්ෂිත අයුරින් තැම්පත් කළ ඇමෝනියම් නයිටේ්‍රට් තොගයකි. පිපිරුමෙන් තුවාල ලැබූ ගණන 6,000 කි. මියගිය ගණන 158 කි. තවත් 80 කට ආසන්න පිරිසක් සුන්බුන් අතර සිරවී මියගොස් ඇතැයි සැක කෙරේ.

රජය තම ජීවිත අනතුරේ දැමුවේ යැයි බේරූට් වැසියන්ගෙන් ලෙබනන් රජයට දැඩි විරෝධයක් එල්ල වී ඇත. පසුගිය දින කීපය පුරාවට බේරූට් නුවර රජයට එරෙහි විරෝධතා පැවැත්වුණු අතර, පොලිසිය ඔවුන්ට හරස් විය. විරෝධතා ප්‍රචණ්ඩ ස්වරූපයක් ගන්නා බව පැවැසෙයි. පොලිස් අත්අඩංගුවට ගත් ගැණුනු විරෝධතාකරුවන් ගණන 780 කි.

බේරූට් වරායේ පිපිරීම සිදුවූයේ, ලෙබනනය ආර්ථිකමය වශයෙන් සහ දේශපාලනික වශයෙන් අර්බුද රැසකට මුහුණ පා සිටිද්දීය. ඊට අමතරව, ‘කොවිඞ් 19’ හෙවත් නව කොරෝනා වයිරසය ද ලෙබනන් වැසියන් පීඩාවට පත් කරමින් තිබුණි. බේරූට් පිපිරුමත්, බේරූට් වැසියන්ට උන්හිටිතැන් අහිමිවීමත්, පැවැත්වෙන විරෝධතාත් හේතුවෙන් ලෙබනනයේ කොරෝනා අවදානම ද ඉහළ යෑමට පටන්ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය බිය පළ කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේදීය (රොයිටර්)


RECOMMEND POSTS