ලෙබනනයට ආධාර



පිපිරුමට හසුවීමෙන්, බීරූට් වරාය මුළුමනින්ම විනාශ වීමත් සමග දේශපාලනික සහ ආර්ථික වශයෙන් අර්බුදයකට මුහුණ පා සිටින ලෙබනනය මුළුමනින්ම අඩපණ වූ බව ලෙබනන් ජනාධිපති මයිකල් එයොන් ජාත්‍යන්තරයට පවසා ඇති අතර, ලෙබනන් වැසියන්ට පිහිට වන්නැයි ඔහු ජාත්‍යන්තරයෙන් ඉල්ලීමක් ද කළේය.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඊට ප්‍රතිචාර දක්වමින් කියා සිටියේ ලෙබනනයට කඩිනමින් අවශ්‍ය ආධාර ලබා දෙන බවය. ආධාර රැගත් නැව් කීපයක් ලෙබනනයට පිටත් කර හැරියේ යැයි ප්‍රංශ ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

බීරූට් නුවර ජර්මන් තානාපති කාර්යාලයට පිපිරුමෙන් දරුණු හානි සිදුවුණු අතර, කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් රැසක් තුවාල ලැබූ බව ජර්මන් විදේශ කටයුතු ඇමැතිවරයා පවසා තිබේ. ජර්මන් ජාතිකයන් කීප දෙනකු ද මියගිය පිරිස අතරේ සිටින බවට ජර්මනිය සැක කරයි.

ලෙබනනයේ පිපිරීම සිදුවන දසුන් දැකීමෙන් තමන් කම්පනයට පත්වුණු බවත් ලෙබනනයට අවශ්‍ය සහාය ලබා දීමට පිටවර ගන්නා බවත් ජර්මන් චාන්සල්වරිය ඇන්ජෙලා මර්කල් පැවැසුවාය.

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය සමඟ සමීප සබඳතා පවත්වන ඉරානය ලෙබනන් රජයේ සහායට ඉදිරිපත් විය. ලෙබනන මෙම අවස්ථාවේ ශක්තිමත් විය යුතු බවත්, ඉරානය අවශ්‍ය සෑම උදව්වක්ම ලබා දෙන බවත් ඉරානය වෙනුවෙන් එරට විදේශ ඇමැති ජවාද් සරීෆ් පවසා තිබේ.

මේ අතර, ඉතාලිය, මැලේසියාව, කටාර් රාජ්‍යය, සෞදි අරාබිය, ඇමෙරිකාව, තුර්කිය, එක්සත් රාජධානිය පවසා ඇත්තේ ලෙබනන් රජයේ අවශ්‍යතාව පරිදි හැකි සෑම අයුරින්ම ලෙබනන් වැසියන්ට පිහිට වීමට තමන් සූදානමින් පසුවන බවය.

(අල් ජසීරා)


RECOMMEND POSTS