ලාංකිකයින්ට අත්‍යවශ්‍ය ආහාර බෙදයි !



කටාරයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය දෝහා අගනුවර සිටින අවශ්‍යතා ඇති ලාංකිකයන් වෙත අත්‍යවශ්‍ය ආධාර ද්‍රව්‍ය බෙදා දුන් බව එම තානාපති කාර්යාලය කියා සිටී.

විදේශ සබඳතා අමාත්‍යාංශය විසින් යවා ඇති ආධාර ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 6700 ක්(ඇසුරුම් 1000ක්) පෙරේදා ( 21 ) තානාපති කාර්යාලයට ලැබී තිබෙන අතර  දෝහා හි වෙසෙන ශ්‍රී ලාංකිකයින් මුහුණ පාන දුෂ්කරතා අවම කිරීම සඳහා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් අවශ්‍යතා ඇති ලංකික ප්‍රජාවට වියළි ආහාර සලාක සහ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම අඛණ්ඩව සිදු කරමින් සිටී.

මෙම ආධරක කට්ටල ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් භාණ්ඩ ප්‍රවාහන විශේෂ යානාවක් මගින් නොමිලේ දෝහා වෙත රැගෙන යාම සදහා දායකත්වය ලබා දුන් බවද විදේශ අමාත්‍යාංශය කියා සිටී.

මීට අමතරව, දෝහා හි ශ්‍රී ලාංකික සංගම්, කටාර් පුණ්‍යායතනය, කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහ විදේශ සබඳතා අමාත්‍යාංශය යන ආයතනවල සහාය ඇතිව මෙම තානාපති කාර්යාලය මේ වන විට වියළි ආහාර සලාක ඇසුරුම් 5000ක් බෙදා දී තිබේ.

අවශ්‍යතා ඇති ලාංකික ප්‍රජාවට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා දෙන අතරතුර, ජනාධිපති ලේකම් කාර්යාලය හා කටාර් රජය සමඟ සමීප සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ විදේශ අමාත්‍යාංශය දෝහා හි වෙසෙන වඩාත් අවධානමට ලක්ව ඇති  ලාංකිකයන් ඉවත් කිරීමට අඛණ්ඩව කටයුතු කරමින් සිටියි.

( තිළිණි ද සිල්වා)


RECOMMEND POSTS