ලන්ඩන් ගිය බහරේන් රජුට විරෝධයක්



 
බ්‍රිතාන්‍යයේ සංචාරයක යෙදෙන බහරේන් රජු හමාද් බින් ඉසා අල් කලීෆා ඊයේ (26) එරට අගමැතිනී තෙරේසා මේ හමුවීමට ලන්ඩන් නුවර ඩවුනින් වීදියේ අගමැති නිල නිවසට පැමිණි අවස්ථාවේ විරෝධතාකරුවන් පිරිසකගෙන් බාධා එල්ල විය.
රජුට බාධා කළෝ බහරේන් විපක්ෂ ක්‍රියාකාරීන් සහ මානව ක්‍රියාකාරීහුය. මොවුන්ගෙන් බොහෝ දෙනා බහරේනයෙන් පිටුවහල් වී ලන්ඩනයේ වාසය කරන අය යැයි ද පැවැසෙයි.
බහරේන් රජය මානව ක්‍රියාකාරීන්ට සහ එරට විපක්ෂ ක්‍රියාකාරීන්ට එරෙහිව දැඩි මර්දනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා යැයි විරෝධතාවට එක් වුණු පිරිස චෝදනා කළහ. 50 කට ආසන්න පිරිසක් විරෝධතාවට එක් වී සිටියහ.
බහරේනයේ සිදුවන මානව හිමිකම් කඩවීම් ගැන වහා සොයා බලන්නැයි ද විරෝධතාකරුවෝ එම අවස්ථාවේදී බි්‍රතාන්‍ය රජයෙන් ද ඉල්ලා සිටියහ. 
බහරේනයේ මානව හිමිකම් කඩවීම් නිරන්තරයෙන් සිදුවන බවත්, රටේ පාලකයන් ඒ සම්බන්ධයෙන් නිහඬව සිටින බවත්ජාත්‍යන්තර මානව හිමිකම් සුරැකීමේ සංවිධාන පවසයි. 
ලන්ඩන් නුවර හමාද් බින් ඉසා අල් කලීෆා රජුට එරෙහිව විරෝධතා පැවැත් වූ පිරිස අතරේ සිටි බහරේන් මානව හිමිකම් ක්‍රියාකාරීන් දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට ලන්ඩන් පොලිසිය කටයුතු කළේය. හමාද් බින් ඉසා අල් කලීෆා රජුට විශේෂ පොලිස් ආරක්ෂාවක් යෙදවීමට ද ලන්ඩන් බලධාරීහු කටයුතු කළේය.

RECOMMEND POSTS