රෝහලකට එල්ල වූ ප්‍රහාරයක්



කැරැලිකරුවන්ගේ පාලනය යටතේ තිබෙන වයඹ දිග සිරියාවේ ඉඞ්ලිබ් පළාතේ පිහිටි රෝහලකට එල්ල වූ ප්‍රහාරයකින් වෛද්‍යවරයකු ඇතුළු හත් දෙනකු තුවාල ලබා ඇතැයි “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. 

ප්‍රහාරය එල්ල වී ඇත්තේ එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානයේ සහාය ලබන රෝහලකටය.

දරුවන් ඇතුළු රෝගීන් 60කට ප්‍රතිකාර කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල වූයේ එම සංවිධානය නිකුත් කළ නිවේදනයේ දැක්වේ. රෝහල පිහිටා ඇත්තේ මරෙත් අල් නුමාන් නගරයේ වන අතර රෝහලට කාලතුවක්කු සහ ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල වූයේ “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානය සඳහන් කළේය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූ එක් පුද්ගලයකුගේ තත්ත්වය බරපතළ යැයි ද එම සංවිධානය සඳහන් කළේය. කෙසේ නමුත් ප්‍රහාරය එල්ල කළේ කවුරුන්ද යන වග සම්බන්ධයෙන් නිශ්චිත තොරතුරු කිසිවක් වාර්තා නොවීය.

“දීර්ඝකාලීන මාරාන්තික යුද්ධයකට වන්දි ගෙවන්නට සිදුව තිබෙන්නේ සිවිල් වැසියන්ට. එය නැවත වරක් සිදුවුණා. දරුවන් ඇතුළු සිවිල් වැසියන් සිය ගණනකට ප්‍රතිකාර කරමින් තිබූ රෝහලකට මේ අවස්ථාවේදී ප්‍රහාර එල්ල වුණා” යැයි “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානයේ ප්‍රකාශක අම්ජාඞ් යමීන් පැවැසීය.

සිරියානු රජයේ හමුදා සහ රුසියානු මිත්‍ර හමුදා ඉඞ්ලිබ් පළාතට දිගින් දිගටම ගුවන් ප්‍රහාර එල්ල කරති. ඉඞ්ලිබ් පළාත බලය අල්ලා ගැනීමේ අරමුණින් සිරියානු රජයේ හමුදා සහ රුසියාව ප්‍රමුඛ ඒකාබද්ධ හමුදා මේ වසර මුලදී ඉඞ්ලිබ් පළාතට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළේය. සිරියාවේ ආණ්ඩු විරෝධී කැරැලිකරුවන්ගේ අවසන් බලකඳවුර වී ඇත්තේ මෙම පළාතය.

මෙම ගැටුම් හේතුවෙන් පළාතේ සිය දහස් ගණනක් සිවිල් වැසියන් අවතැන් වී සිටින අතර දහස් ගණනක් පළාත තුළම අවතැන් වී සිටිති.

රුසියාව සහ සිරියාව පසුගිය සතියේදී ඒකපාර්ශවීය සටන් විරාම ගිවිසුමකට ද එළැඹුණේය.

වයඹ දිග සිරියාවේ එක්සත් ජාතීන්ගේ සහාය ලබන වෛද්‍ය පහසුකම් ලබාදෙන ස්ථාන හා රෝහල්වලට එල්ල වන බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය අගෝස්තු මාසය මුලදී එක්සත් ජාතීන්ගේ විමර්ශන මණ්ඩලයක් පත් කළේය.

මෙම යුද ගැටුම් අවසන් කරන්නැයි සිය නිවේදනයෙන් අවධාරණයෙන් ඉල්ලා සිටි “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානය යුද වදින පාර්ශව ජාත්‍යන්තර මානුෂීය නීතියට කිසිදු ගරු කිරීමක් නොකරන බවත් එම නීති නොතකමින් රෝහල් සහ පාසල්වලට ද ප්‍රහාර එල්ල කරන බවත් සඳහන් කළේය.

“දරුවන්ට එරෙහිව කරන මේ යුද්ධය නවත්වන්නැයි අපි සියලු පාර්ශවවලින් ඉල්ලා සිටිනවා. සිරියානු අර්බුදය අවදානම් තත්ත්වවලට මුහුණ දෙන දරුවන් ආරක්ෂා කිරීම සඳහා නිර්මාණය කර තිබෙන මූලික මානව අයිතිවාසිකම් සහ ජාත්‍යන්තර නීති උල්ලංඝණය කරන අවස්ථාවක් බවට පත්වීමට ඉඩ නොදිය යුතුයි. එසේ නොවුණහොත් එය සාමාන්‍ය තත්ත්වයක් බවට පත්වේවි” යැයි “සේව් ද චිල්ඩ්‍රන්” සංවිධානය නිකුත් කළ නිවේදනයේ තවදුරටත් දැක්විණි.

හර්ෂණ තුෂාර සිල්වා
මිඞ්ල් ඊස්ට් අයි ඇසුරිනි


RECOMMEND POSTS