මුස්ලිම්වරුන්ට අපහාසයක්



නබිනායකතුමන්ට අපහාස කිරීම ලොව සමස්ත මුස්ලිම් වැසියන්ට අපහාස කිරීමක් යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පවසයි.

ඉරාන ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ, ප්‍රංශයේ චාර්ලි හෙබ්දෝ විකට සඟරාවේ නබි නායක තුමා උපහාසයට ලක් කරමින් විකට කාටූන් පළවීම සහ එම කාටූන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් සාධාරණීකරණය කිරීම හේතුවෙනි.

ප්‍රංශ ජනපති මැක්රොන්ගේ අදහස නම්, ප්‍රංශය නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇති රටක් බැවින්, එසේ කාටූන් පළ කිරීමට කිසිදු බාධාවක් නොමැති බවය.

පසුගිය 16 වැනිදා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට ඇති අයිතිය පිළිබඳ සිසුන්ට පැහැදිලි කළ දුන් සැමුවෙල් පැටී නමැති ප්‍රංශ ගුරුවරයකු ගෙල කපා මහමඟ මරා දැමුණි.

එම ගුරුවරයා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම කෙසේදැයි යන්න පැහැදිලි කිරීමට නිදසුනක් ලෙස භාවිතයට ගෙන ඇත්තේ චාලි හෙබ්දෝ විකට සඟරාවය.

ගුරුවරයා ඝාතනය කළේ රුසියාවෙන්, ප්‍රංශයට පැමිණ ප්‍රංශයේ ජීවත් වූ චෙච්නියානු මුස්ලිම් තරුණයකි. පොලිසිය කළ වෙඩි තැබීම්වලින් මෙම තරුණයා ද ජීවිතක්ෂයට පත්විය.

ගුරුවරයා මරා දැමීමට එම පාසලේ මුස්ලිම් සිසුන්ගේ ද සහාය ලැබී ඇති බව අනාවරණය වෙද්දී, ප්‍රංශයේ මුස්ලිම්වරුන්ට කෙණෙහිලිකම් එල්ල විය.

මුස්ලිම් තරුණ තරුණියෝ පොලිසියේ මර්දනයට ලක් වූහ.

‘නබිනායකතුමන්ට හෝ කුර්ආනයට හෝ අපහාස කිරීම සෘජුව මුස්ලිම්වරුන්ට කරන අපහාසයක්. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට අයිතිය ඇතැයි කියමින් ආගමකට හෝ ආගමික නායකයකුට හෝ අපහාස කිරීම සුදුසු නැහැ’ යැයි ඉරාන ජනාධිපති හසන් රොව්හානී පෙන්වා දී තිබේ.

ආගමකට හෝ ආගමික නායකයකුට හෝ අපහාස කිරීම සුදුසු නැති බව ශුද්ධෝත්තම ෆැන්සිස් පාප්තුමන් පවා පෙන්වා දී තිබේ.

තෙහෙරාන්හිදීය (ඒ.එෆ්.පී)


RECOMMEND POSTS