මැද පෙරදිග අස්ථාවර කරන්නේ ඉරානය යැයි ඇමෙරිකාව කියයි



මැදපෙරදිග රටවල අභ්‍යන්තර අර්බුද නිර්මාණය කරමින්, ගැටුම් ඇති කිරීමට සලස්වා, මැදපරෙදිග කලාපය අස්ථාවර කිරීමට ඉරානය කටයුතු කරනවා යැයි ඇමෙරිකාව චෝදනා කරයි.

මෙසේ චෝදනා කර ඇත්තේ ඇමෙරිකානු රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන්ය. බැරැක් ඔබාමා ඇමෙරිකා ජනපති ධුරයේ සිටිද්දී, ඔබාමා පරිපාලනය ඉරානය සමඟ ආරක්ෂක අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවේය.

එම ගිවිසුමට අදාල කොන්දේසි අවස්ථා ගණනාවකදී ඉරානය විසින් උල්ලංගනය කරනු ලැබ ඇතැයි ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම් රෙක්ස් ටිලර්සන් චෝදනා කරයි.

ඉරානය තවත් උතුරු කොරියාවක් බවට පත්වීමට ඉඩ ලබා නොදෙන බව ද ඇමෙරිකන් රාජ්‍ය ලේකම්වරයා වැඩි දුරටත් පවසා ඇත.

ඉරාන ජනපතිවරණය ලබන මැයි 19 වැනිදා පැවැත්වීමට නියමිතය. ඇමෙරිකාවෙන් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කොමේනී පවසා ඇත්තේ ජනපතිවරණය කඩාකප්පල් කිරීමේ අරමුණින් ඇමෙරිකාව කටයුතු කිරීමට සූදානම් බවය.

ඉරාන උත්තරීතර නායකයා මේ බව කියා සිටියේ ඉරාන හමුදා ප්‍රධානීන් හමුවුණු අවස්ථාවේදීය. සාර්ථකව ජනපතිවරණය පැවැත්වීමටත් රටේ ආරක්ෂාව තහවුරු කර ගැනීමටත් කටයුතු කළ යුතු යැයි ද ඉරාන උත්තරීතර නායක ආරක්ෂක ප්‍රධානීන් හමුවේ අවධාරණය කළේය.

(රොයිටර්)

 


RECOMMEND POSTS